ලෝක දුම්වැටි විරෝධී දිනය අදය. මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කළ ලෝක දුම්කොළ විරෝධී දිනයේ තේමාව දැනෙන සුලුය. “අපට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවේ”. මෙවර තේමාව එයය. මෙම තේමාව තුළින් වඩා පෝෂ්‍යදායී, තිරසාර, විකල්ප වගාවන් කෙරෙහි ලොව පුරා දුම්කොළ වගාකරුවන්ගේ අවධානය යොමු කිරීමත්, විකල්ප අලෙවිකරණ අවස්ථා කෙරෙහි යොමු වීමට ඔවුන් දිරි ගැන්වීමත් ඉලක්ක කෙරේ.
ගැටුම්, දේශගුණික විපර්යාස, Covid-19 වසංගතය සහ ඉහළ නගින ආහාර මිල යනාදී කරුණු රැසක් මගින් ඇතිකරන ලද ගෝලීය ආහාර අර්බුදයකට මේ වන විට මුලු ලෝකයම මුහුණ පා සිටී. ඉතිහාසයේ වාර්තාවන දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදය සමග ශ්‍රී ලංකාවේ මෙම තත්වය වඩාත් උග්‍ර අතට හැරී තිබේ. මෙම අර්බුදයත් සමග ශීඝ්‍රයෙන් ඉහළ යන ආහාර මිල හමුවේ රටේ මහජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති, ලෝක ආහාර වැඩසටහන ඉදිරිපත් කර ඇති දත්ත අනුව, ශ්‍රී ලාංකිකයන්ගෙන් මිලියන 6.3ක් ආහාර අනාරක්ෂිතතාව කෙරෙහි ලඟා වෙමින් පවතී.
සෞඛ්‍ය සේවය මත පැටවෙන අනිසි බර
මෙම දුෂ්කර ආර්ථික තත්වය හමුවේ දුම්කොළ භාවිතය හේතුවෙන් අප රටේ ආර්ථිකය සහ සෞඛ්‍ය සේවය මත පැටවෙන අනිසි බර පැහැදිලිවම අනවශ්‍ය එකකි. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි ශ්‍රී ලංකාව තුළ වසරකට අකල් මරණ 20,000කට, එසේ නැතහොත් දිනකට මරණ 55කට හේතුව මාරාන්තික නිශ්පාදනයක් වන දුම්කොළය,
තවද, ශ්‍රී ලාංකිකයන් දිනකට රු. මිලියන 400ක් සිගරට් සඳහා වියදම් කරයි. සිගරට් භාවිතය නිසා රජය වසරකට දැරිය යුතු ආර්ථික හා සෞඛ්‍ය පිරිවැය රුපියල් මිලියන 84,320කි. අධ්‍යයන මගින් සොයාගෙන ඇති පරිදි, බහුතරයක් දුම් පානය කරන්නන් අයත් වන්නේ අඩු ආදායම්ලාභී කණ්ඩායමටය. මේනිසා, වෙහෙස වී උපයන මුදල් දුම්පානය වෙනුවෙන් නිකරුනේ වැය කිරීම ඔවුන්ගේ පවුල් තවදුරටත් අගාධයට ඇද දැමීමට රුකුල් දෙන අතර, එබඳු පවුල්වල ආහාර අනාරක්ෂිතතාව කෙරෙහි ද හේතු වේ.
ඉහවහා යන බඩගින්න
වර්තමාන තත්වය හමුවේ මහජනයාහට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවන නිසා, ආහාර අර්බුදයෙන් ගොඩ එනු පිනිස දුම්කොළ භාවිතයෙන් නිදහස් වෙමින් එම මුදල් අත්‍යාවශ්‍ය පෝෂ්‍යදායි ආහාර සපයා ගැනීම සඳහා යොදාගැනීම කෙරෙහි අවධානය යොමු කල යුතුයි.
මෙම කාරණයන්ට අමතරව, දුම්කොළ වගාව පරිසරයට ද බොහෝ හානිදායක වේ. දුම්කොළ වගාවේ අනිසි ප්‍රතිඵල වන දරුණු පංශු ඛාදනය, පස නිසරු වීම හා ජල සම්පත ක්ෂය වීම නිසා භූමියේ ඵලදායිතාව අඩු වන අතර, අධික රසායනික පොහොර භාවිතය සමස්ත පරිසර පද්ධතියටම අහිතකර බලපෑම් එල්ල කරයි.
එම රසායන ද්‍රව්‍ය ගොවීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්වය කෙරෙහිද විශාල තර්ජනයක්ව පවතී. දුම්කොළ මගින් පාංශු පෝෂක ශීඝ්‍රයෙන් අවශෝෂණය කරගන්නා නිසා, සරු පසෙහි පෝෂක ක්ෂය වීමක් සිදු වන අතර, අවසානයේ එම පස වෙනත් අත්‍යාවශ්‍ය භෝග වගාව සඳහා නුසුදුසු තත්වයට පත් වේ.
දුම්කොල සමාගමේ බලපෑම
2017 වර්ෂයේදී එවකට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ශ්‍රී ලංකාව 2021 වන විට දුම්කොළ පාලනය පිළිබඳ සඳහා වු ජාත්‍යන්තර සම්මුතියේ (FCTC) 17 සහ 18 යන වගන්තීන්ට අනුකූලව දුම්කොළ වගාවෙන් ඉවත්වන බවට ජාත්‍යන්තර සමුළුවකදී ප්‍රකාශයක් සිදු කරන ලදී. මෙය දුම්කොළ වගාකරුවන් හට විකල්ප ජීවනෝපායන් කෙරෙහි යොමු වීමට කදිම අවස්ථාවක් වුවද, එම එකඟතාවයට පැමිණ අවුරුදු 5කට පසුවත් මෙම තීරණය අදටත් ක්‍රියාත්මක වී නොමැත. පැහැදිලිවම දුම්කොළ කර්මාන්තයෙහි මැදිහත්වීම මේ පසුපස ඇති බලවේගයයි.
දුම්කොළ කර්මාන්තය විසින් නොයෙකුත් ක්‍රමෝපායන් ඔස්සේ ප්‍රතිපත්ති සම්පාදකයින් කරා ලඟා වෙමින් ප්‍රතිපත්ති තීරණ දුර්වල කිරීමටත්, දුම්කොළ වගාව පවත්වාගෙන යමින් ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමටත් දිගින් දිගටම කටයුතු කරන බව නොරහසකි. දුම්කොළ කර්මාන්තය ගොවීන් හට ජීවනෝපාය සලසන මාර්ගයක් ලෙස නිරතුරුවම තමන් පිළිබඳ පුරසාරම් දෙඩුවද සැබෑ තත්වය කිසිසේත්ම මෙය නොවේ. දුම්කොළ වගාව තිරසාර වගාවක් ලෙස හුවා දැක්වීමට ඔවුන් දරන උත්සාහයද බොහෝ නිෂ්ඵලය.
එමෙන්ම සිගරට් භාවිතය සහ ඒ හා බැදී ඇති හානිය අවම කිරීමට සිගරට් භාවිතය අවම කිරිමේ පාලන ප්‍රතිපත්ති මේ මොහොතේ අප රටට අත්‍යවශ්‍ය වේ. සුරාබදු ඉහල දැමීම මගින් සිගරට් නිශ්පාදනයන්හි මිල උපරිම මට්ටම දක්වා ඉහල දැමීම දුම්කොළ පාලනය වෙනුවෙන් ගත හැකි වඩාත්ම ඵලදායී උපායමාර්ගය බව හඳුනාගෙන ඇත. එහෙත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ දුම්වැටි බදු රටේ උද්ධමනයට අනුකූලව සකස් කෙරෙන විද්‍යාත්මක මිල සූත්‍රයක් ක්‍රියාත්මක නොවේ. ඒ වෙනුවට අප රටෙහි ක්‍රියාත්මක වන්නේ දුම්වැටි බදු ඒවායේ දිගට සාපේක්ෂව තීරණය වන සංකීර්ණ, යල්පැනගිය ක්‍රමවේදයකි.
මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වන අනිසි බලවේගයන් හේතුවෙන් රට තුළ විද්‍යාත්මක සහ තාර්කික දුම්වැටි බදු ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම පමා වෙමින් පවතී. මෙම තත්වය හමුවේ පසුගිය වසර 5 තුළ රජයට අහිමිව ගිය දුම්වැටි බදු ආදායම ආසන්න වශයෙන් රු. බිලියන 200ක් පමණ වේ. ලංකා දුම්කොළ සමාගමේ කොටස් වලින් 84.13%කට අයිතිවාසිකම් කියන බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම අප රටට අහිමි වූ එම මුදල් ඔවුන්ගේ ලාභය වශයෙන් රැස් කරගෙන ඇත. මෙම තත්වය දුෂ්කර ආර්ථික ව්‍යසනයක සිටින්නාවූ අප රටෙන් මුදල් විදේශයන්ට ඇද ගනිමින් අප රට තවදුරටත් දරිද්‍රතාව කරා ඇද දමන්නකි.
කළ යුත්තේ කුමක් ද?
දුම්වැටි භාවිතය මගින් සිදු වන ආර්ථික, සෞඛ්‍ය හා සමාජීය හානිය අවම කිරීමට රජයේ සුරාබදු ආදායම ඉහල දැමීමටත්, නිවැරදි මිල සූත්‍රයක් හරහා රට තුළ විද්‍යාත්මක සහ තාර්කික දුම්වැටි බදු ප්‍රතිපත්තියක් ස්ථාපිතකරන ලෙස සියලු ප්‍රතිපත්ති සම්පාදකයන්ට මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අවධාරණය කර සිටිමු.
තවද, දුම්කොළ වගාවෙන් ඈත්ව එම ගොවීන් වඩා ඵලදායී ජීවනෝපායන් කෙරෙහි යොමු කරවීමට දැරූ මන්දගාමී උත්සාහයද ශීඝ්‍ර කිරීමට දැන් කාලය පැමිණ ඇත. ශ්‍රී ලංකාව තුළ දුම්කොළ හානියට තිත තබා, කෘෂිකර්මාන්තය තවදුරටත් දියුණු කරමින්, වඩාත් පෝෂ්‍යදායි තිරසාර වගාවන් කෙරෙහි යොමු වෙමින්, ආනයනික නිශ්පාදන මත රඳා නොපවතින ස්වයංපෝෂිත හෙටක් වෙනුවෙන් එකාවන්ව නැගී සිටින මෙන් මේ පිළිබඳ වගකිවයුතු පාර්ශවයන් සහ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.