ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් විනාශ කරන ක්‍රීඩා වෛද්‍ය කමිටුව සම්බන්ධව බරපතල චෝදනාවක් කෝප් කමිටුවේ මතු වන්නේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අතිශය සංවේදී නිලයන් ස්ඵර්ෂ කරන්නේ මොනතරම් මුග්ධ ආකාරයට ද යන්න අපට කීවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගේ වන් ෂොට් කතාවය.
කෝප් කමිටුව හෙළිදරව් කළ අකාරයේ වන් ෂොට් ලා මීට පෙරත් ශ්‍රී ලංකා ක්‍රිකට්වල සිටියේය. ලෝකයෙන් කොවිඩ් තුරන් කිරීමේ කොන්ත්‍රාත්තුව බාර ගන්නට ගොස් කොවිඩ් වැළඳී නවලෝක රෝහලේ දී මිය ගිය එලියන්ත වයිට් එවැන්නෙකි. ඔහුගේ ප්‍රතිකාර ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුට ක්‍රීඩාව නිමා කරන්නට පාර කීවේය. අවසානයේ දී උපුල් තරංග තහනම් උත්තේජක භාවිතයට වරදකරු කළේය.
ඒ වන් ෂොට් සහ දයාරිසි ජයසේකර කී වන්ෂොට්ලා අතර බොහෝ වෙනස්කම් තිබේ. මක්නිසාද යත් දයාසිරි පැවසූ වන්ෂොට්ලා එලියන්ත වයිට් වැනි ගොබ්බයන් නොවන වෘත්තීය පරිචයක් සහිත, තමන් කරන අමනකමේ ගැඹුර හොදින් දන්නා පිරිසක් වීමය.
වෛද්‍ය කමිටුව
ශ්‍රී ලංකා ක්‍රිකට්වල නිල වෛද්‍ය සැපයුම්කරුවා උපසභාපති ජයන්ත ධර්මදාසගේ නවලෝක රෝහලය. නවලෝක රෝහලේ රක්තවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා හරිඳු විජේසිංහය. නවලෝක මුදලාලිගේ ඥාති පුත්‍රයාය. හරිඳු විජේසිංහ රාජකීය විද්‍යාලයේ 2000 -2001 ක්‍රීඩා වර්ෂයේ රගර් කණ්ඩායමේ නායකයා ය. දක්ෂ ක්‍රීඩකයෙකි. විශේෂඥ වෛද්‍ය වරයෙකි. විෂය රක්තවේදය ය. ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ අතුරු සුදුසුකමක් ඇත.ඔහු ක්‍රීඩා වෛද්‍ය කමිටුවේ සාමාජිකයෙකි. අනෙක් වෛද්‍යවරයාටත් ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සම්බන්ධව විශේෂඥතාවයක් නැත.
මේ කමිටුවේ සිටිනා ලංකාව දන්නා ප්‍රධානම වෛද්‍යවරයා මහාචාර්ය අර්ජුන් සිල්වාය. සෑහෙන කාලයක් තිස්සේ ක්‍රීඩා වෛද්‍ය කමිටුව නියෝජනය කරන විශේෂඥ වෛද්‍ය රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය අර්ජුන් ද සිල්වාය. ඔහු විශේෂඥ කායික රෝග පිළිබඳ වෛද්‍යවරයෙකි.
ඇත්ත නම් ඈෂ්ලි ද සිල්වා කෝප් කමිටුවට කී ආකාරයට ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ක්‍රීඩාව ඉල්ලා සිටින ආකාරයේ විශේෂඥතාවයක් මේ වෛද්‍ය කමිටුවේ එක් වෛද්‍යවරයෙකුටවත් නැත. තීන්දු ගැනීම පිළිබඳ යම් වෘත්තීමය භාවයක් ඇත්තේ විශේෂඥ වෛද්‍ය හරිඳු විජේසිංහට පමණි.
ලෝකය ඉන්න තැන
ලෝකයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව යනු වෛද්‍ය විද්‍යාවේ අතිශය දියුණු තාක්ෂණික විෂයකි. යම් ආබාධයකට ලක් වූ ක්‍රීඩකයෙකු වෛද්‍ය විද්‍යාත්මකව කළමනාකරණය කර යළි ස්ථාවර කිරීම සඳහා විද්‍යාත්මක තින්දු ගැනීම ක්‍රීඩා වෛද්‍ය විශේෂඥයෙකුගේ නිශ්ඡිත කාර්යය ය.
ක්‍රීඩා වෛද්‍ය කමිටුවකින් සිදුවන්නේ බහු තාක්ෂණික කළමනාකරණයකි. ක්‍රිඩා වෛද්‍ය විශේෂඥවරයෙක් පමණක් නොව ක්‍රීඩා චිකිත්සාව පිළිබඳ විවිධ අංශ ආවරණය වන ප්‍රමාණිකයන්ගේ එකමුතුවක අග්‍ර ඵලය ලෙස ක්‍රිකට් වැනි අන්තර්ජාතික තලයේ ක්‍රීඩාවක් පැවතිය යුතුය. එසේ නොවන විට යම්තම් විෂය පිළිබඳ අතපත ගෑ පුද්ගලයෙක් ඔහුගේ තනි තීන්දුව මත ක්‍රියා කිරීමට පෙළඹේ. තමන්ගේ ස්ථානය ආරක්ෂා කරගැනීම සඳහා විෂය ගැන ගැඹුරක් නොදත් සාමාජිකයෝ නිහඬ වෙති. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාගේ සමහර අත්තනෝමතික හැසිරීම් මේ තත්ත්වයෙන් මතුවූවකි. වනිඳු හසරංගගේ අබාධය පුනරුත්ථාපනය කර යථාවත් වී සිටිය දී සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථයෙහි දුවන්නට සැලැස්වීමය. අවසානයේ මේ තනි තීන්දුව නිසා සිදුවන්නේ පළමු මට්ටමේ තිබුණු වනිඳුගේ ආබාධය තුන්වැනි මට්ටම තෙක් බරපත වීමය. හිටපු ක්‍රීඩා ඇමතිවරයා කී ලෙස බිනර ප්‍රනාන්දුගේ කොන්දේ ආබාධයකට වසර 07ක් තිස්සේ පාදයට බෙහෙත් කළ ක්‍රීඩා වෛද්‍ය කමිටුවක් ගමේ හරකුන්ට බේත් කරන කුර වෙද්දුන්ගෙනුත් හදා ගත හැකිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවුන කවුරුත් කතා නොකළ ඛේදවාචකය එයය. මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කාරණා තිබේ.
ක්‍රිකට් ආයතනයේ ප්‍රමුඛතාව
ලෝකය තාක්ෂණය අත්පත් කරගන්නා තරම් වේගයෙන් ඒ තැන්වලට යනවාට වඩා ක්‍රිකට් බිස්නස් කාරයින්ට ඇති ප්‍රමුඛතා වෙනස් බව පසුගිය වකවානුව පුරාම රටට පෙනුනේය. කුසලා සරෝජනී කමිටු වාර්තාවෙන් මෙන්ම විගණන කොමිසමේ වාර්තාවෙන් ද ඒ ප්‍රමුඛතා හෙළි වුනේය.
අනෙක් අතට ලංකාව තුළ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥ පරිචයක් සහිත ක්‍රීඩා වෛද්‍යවරු තවමත් නැත. ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව විශේෂ කොට හැදෑරූ වෛද්‍යවරු හය දෙනා දැන් විදේශ පුහුණුවේය. ඔවුන් සුදුසුකම් සපුරාගෙන පැමිණියත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සම්බන්ධ වීම මේ තියන ව්‍යාපාර ජාල හමුවේ පහසු එකක් නොවේ.
තත්ත්වය මේක නම් හෙට අනිද්දාට රටේ ක්‍රිකට් ගහන්නට එකෙක් නැතිවන ලකුණු පෙනෙමින් තිබේ. ක්‍රිකට් බැලිල්ල පසෙක තබා ඔබටත් මටත් ක්‍රිකට් ගහන්නට යන තැනට මුන් වැඩ නොකරනු ඇතැයි විශ්වාසයක් නැත.