පාස්කු ප්‍රහාරයේ චුදීතයන් මෙන්ම එය වළක්වා ගැනිමට අපොහොසත් වූ පුද්ගලයින් සියලු දෙනා ඉන්නේ ආණ්ඩුවේ බවත් දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව ප්‍රශ්න කළ යුත්තේ කාගෙන් දැයි තමන් විමසන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු පැවසුවේ ඒ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධව තම පක්ෂය හා ඊබ්‍රහීම සම්බන්ධව ප්‍රකාශ නිකුත් වීම කලක සිට තවමත් සිදුවන බවය.
වර්ෂ 2015 දී ඊබ්‍රහීම් තම පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් ලෙස කටයුතු කළ බව පිළිගන්නා අතරම එය රටම දැනුවත් කාරණාවක් යැයි අනුර කුමාර දිසානායක කීවේය.
ඒ වනවිට ඔහු මේ රටේ ඉහළම පෙළේ කීර්තිමත් ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කළ බව පෙන්වා දුන් අනුර කුමාර දිසානායක එම කීර්තිමත් ව්‍යාපාරිකයා හිටපු ජනාධිපතිවරයෙක් වූ මහින්ද රාජපක්ෂ, හිටපු ප්‍රධාන අමත්‍යවරයෙක් වූ ජී.එල් පීරිස් අතින් සම්මාන ලැබූ සමාජය පිළිගත් ප්රභූවරයෙක් ව සිටි බව පැවසුවේය.
වර්ෂ 2015 වනවිට ඔහු හෝ ඔහුගේ දරුවන් ත්‍රස්තවාදී ව්‍යාපාරයකට සම්බන්ධව සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවවත් දැන නොසිටි බව කී මන්ත්‍රීවරයා ඊබ්‍රහීම් අත් අඩංගුවට ගෙන වසර දෙක හමාරක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කර ඇප මත මුදා හැර සිටින බව පෙන්වා දුන්නේය.
ඒ වකවානුව තුළ කිසිම අවස්ථාවක මේ ත්‍රස්තවාදය හෝ ඒ සම්බන්ධ මොනම ආකාරයේ චෝදනාවක්වත් තම පක්ෂයට එරෙහිව නැගී නොමැති බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසුවේය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවෙ කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.







