-
රාජ්‍ය දේපළ කොල්ල කෑ අනුරාධ ජයරතනගේ සහ නීතිය අවලමේ යැවූ රාජ්‍ය පරිපාලන ලේකම්ගේ ජඩ නිරුවත හෙළි කිරීම නිසා ස්ථාන මාරු කළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් නීතිඥ ආත්මා දිල්රුක්ෂි ජයරත්න පිළි ගන්න මහා සංඝයා වැඩම කරති… මිනිස්සු පෙරහර කරති…
ගම්පොළ පිහිටි රජයට හිමිකාරත්වය භූමියක අනවසර සන්තකය දරමින් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න සිටින බව රටට හෙළි කර ඔහුට ඉන් ඉවත්ව යන ලෙස දැනුම් දී දින කිහිපයට පසු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ස්ථානමාරු කරන ලද ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් නීතීඥ ආත්මා දිල්රුක්ෂි ජයරත්න ජනතා උපහාර මැද ඊයේ (26) යළි එම කාර්යාලයේ වැඩ බාර ගත්තාය.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයක් මත ආත්මා දිල්රුක්ෂි උඩ පළාත් ප්‍රාදේශීය ලේකම් ධූරයේ යළි වැඩ බාරගත් අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
පසුගිය දෙසැම්බර් මස 29 දින ගම්පොළ පිහිටි දි.මු ජයරත්න සංස්කෘතික මධ්‍යස්ථානය ඇතුළු ගොඩනැගිලි කිහිපයකින් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට ඉවත්වන ලෙස දැනුම් දෙමින් ප්‍රාදේශීය ලේකම්වරිය නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
නිරවුල් සන්තකය පෙබරවාරි මස 12 දින හෝ එදිනට පෙර ප්‍රාදේශීය ලේකම්වරිය වෙත හෝ අංගම්මන බටහිර වසමේ ග්‍රාම නිලධාරිවරයා වෙත බාර දෙන ලෙස අනුරාධ ජයරත්න රාජ්‍ය ඇමැතිවරයාට නියම කරමින් අදාළ දැනුම්දීම ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ඉඩමේ ගොඩනැගිලි වල ඇලවීමට ද පියවර ගත්තාය.
මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටිය දී ප්‍රාදේශීය ලේකම්වරිය රජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අභ්‍යන්තර පාලන අංශය වෙත මාරු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර තිබුණේය. ඒ පසුගිය ජනවාරි මස 26 වැනි දිනය
.
අදාළ ස්ථාන මාරුව අවලංගු කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව පසුගිය ජනවාරි මස 30 දින නියෝගයක් ලබාදුන් අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා එය ක්‍රියාත්මක කිරීමෙන් වැලකී සිටිමින් අදාළ නියෝගය යළි සලකා බලන ලෙස ඉල්ලීමක් කර තිබිණි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ආත්මා දිල්රුක්ෂි ජයරත්න යළි උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ලෙස පත් කරන ලෙස කළ දැනුම් දීමට අනුව ඇය පසුගිය 26 දා කාර්යාලයට පැමිණ සේවා කටයුතු ආරම්භ කළේ සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ය.
සක් හා බෙර හඬ මධ්‍යයේ උඩරට වෙස් නැටුම් ශිල්පීන් ගේ නර්ථන මධ්‍යයේ ප්‍රාදේශීය ලේකම්වරිය පෙරහරකින් කාර්යාලය වෙත කැඳවාගෙන ඒමට එහි සේවකයින් කටයුතු කර තිබුණේ ප්‍රදේශයේ ජනතාවගේ ද උණුසුම් පිළිගැනීම් මධ්‍යයේ ය.
මෙහි දී අදහස් දැක්වූ උඩ පළාත ප්‍රධාන සංඝනායක, උඩ පළාත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, රතනගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බෝවල විමලධම්ම හිමියෝ මෙසේ පැවසූහ.
“ ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය මාසයකට පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නැවත වතාවක් පත්වීම ලබාගෙන සේවයට පැමිණියේ අභියෝග රැසක් මධ්‍යයේ යි. දවසකට හරි වැඩ බාරගෙන යන්න කියලා මිනිස්සු ප්‍රාර්ථනා කළා. ගොඩක් රජයේ නිලධාරීන් ට දේශපාලන අධිකාරිය එක්ක හැප්පෙන්න හයියක් නැහැ. දේශපාලන හයිය තියෙන මිනිස්සු පරාජය කරලා රජයේ සේවකයෙක් නැවත සේවයට ආපු පළමු වතාව මේක වෙන්න ඕන ඕන. “
“ආත්මා දිල්රුක්ෂි මහත්මිය අවංක එඩිතර කාන්තාවක්. අවසානයේ සත්‍ය ජය ගන්නා බවට හොඳම උදාහරණයක් මේ සිද්ධිය. “
මෙහි දී මීගහජදුරේ පුඤ්ඤරතන නාහිමියන් ද අදහස් දැක්වීය.