මනම්පිටිය නිමල් ජයරත්න
මෙවර මහ කන්නයේ පොලොන්නරුවේ ප්‍රදේශ රැසක ගොයම් කහවීමේ රෝගයක් සමඟ කිසිදු වී අස්වැන්නක් ලබාගැනීමට නොහැකි වනු ඇති බව තහවුරු වීමෙන් අනතුරුව මහවැලි බී කලාපයේ වැලිකන්ද මොණරතැන්න ගොවිහු අද (17 ) දහවල් ගිනිතබා විනාශ කළහ.
දින 60 ක් 75ක් වන මෙම ගොයම කහ පැහැගැන්වී ගොයම් කොළ පිදුරු බවට පත්වී ඇති බව ගොවීහු දැඩි වේදනාවෙන් කීහ.
මේ පිළිබඳ ගොවි සංවිධාන කෘෂිකර්ම බලධාරීන් දැනුවත් කළද ඒ සඳහා කිසිදු කෘෂිකර්ම බලධාරියෙකු නිශ්චිත ප්‍රතිකර්මයක් නිර්දේශ කිරීම්ට මෙතෙක් ඉදිරි ඉදිරිපත් නොවීමත්, මෙම රෝගය අනෙකුත් කුඹුරුවල ගොයම්වලට වැළඳී ඒවාද විනාශ වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති වීමත් ගොයම් ගිනිතබා විනාශ කිරීමට පියවර ගත් බව මේ වේදනාත්මක අත්දැකීම ලද කපිල සිරිල් පතිරණ අප සමග කීවේය,
මහවැලි බී කලාපයේ අක්කර හැටදාහකට ආසන්න කුඹුරු බිම් ප්‍රමාණයක් මෙවර මහ කන්නයේ වී වගා කර තිබිණි.ඉන් සියයට හැට හැත්තෑවකට මෙම රෝගය මේ වෙනවිට වැළඳී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
අක්කර දෙකහමාරකට අවශ්‍ය යූරියා පොහොර ලබා ගැනීමට රජයට රුපියල් තිස්දාහක මුදලක් තමන් ලබාදුන් බවත් කන්න හතරකින් මෙම කුඹුරු සඳහා රතු කුඩු දමා නොමැති බවත් ඔහු කීවේය.
“රජයේ ලබාදුන් පොහොර වලින් මෙම රෝගය හටගෙන ඇති බවට අපිට හිතෙනවා. මේ විනාශ වූ කුඹුරු සඳහා සියලු ගොවීන්ට වහාම වන්දියක් ලබාදීමට පියවර ගන්න…“ මහවැලි ගොවීහු ඉල්ලා සිටියහ.
ගොවින් පවසන්නේ ගොයම් කහ වීමේ රෝගයක් සමඟ මෙවර ගොයම් පීදීමට ලක්නොවන බවය. මීට පෙර කන්නවල අක්කර දෙකහමාරකින් වී කිලෝ හාරදාහක්, පමණ ලබා ගත්තද මෙවර, ගොයම් පත්ව ඇති තත්ත්වය අනුව ඉතිරි වී ඇති වගාවෙන් අක්කරයකට වී කිලෝ 500 ක් වත් අක්කරයකින් ලබාගැනීමට නොහැකි වනු ඇති බවද ඔවුහු කීහ.
ඉන්ධන මිල ඉහළ නැගීම, හා වී වගා කිරීමේ යෙදවුම් මිල ඉහළ නැගීම හේතුවෙන් මෙවර අක්කර දෙකහමාරක් වී වගා කිරිමට ගොවියෙකුට රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලක් වැය තිබිණි.
එම මුදලින් සියයට 25ක් වත් මෙවර මෙම රෝගය නිසා ලබාගැනීමට නොහැකි වනු ඇති බව ඔවුහු පෙන්වා දුන්හ.
ඉතිරි වී ඇති ගොයම් මෙම රෝගයෙන් බේරාගැනීමට, කෘෂිකර්ම බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයාගෙන් මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද මහවැලි බී කලාපය ගොවි වූ සඳහන් කරති.
ගොයම් කොල කහ වීමෙ රෝගය පිළිබඳව අප දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා සහ කෘෂිකර්ම බලධාරීන් කිහිප දෙනෙකුගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් සඳහන් කළේ එම රෝගය මර්දනය කිරීම සඳහා වෙළඳපොලේ දිලීර නාශක වර්ග කිහිපයක් ඇති බැවින්, ඒවා ගොයමට ඉසීමෙන් එම රෝගය මර්දනය කරගත හැකි බවට ගොවීන් දැනුවත් කර ඇති බවය.