කීර්ති ප්‍රනාන්දු –
මාස 02ක් සඳහා දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් වෙනුවෙන් සහල් කිලෝ 10ක් බෙදා දීමේ වැඩසටහන පොහොට්ටු දේශපාලකයින් විසින් අලජ්ජී දේශපාලන ව්‍යාපෘතියක් කරගෙන ඇති බවත් තමන් ඉන් මහත් අපහසුතාවයට පත් වී ඇති බවත් සමෘද්ධි දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම බෙදා දීම් සමෘද්ධි නිලධාරීන් හරහා සිදුවන්නේ ප්‍රාදේශීය දේශපාලකයින් විසින් ලබා දෙන කාල සටහනට බවත් ඔවුන් මේ අන්ත දිළිඳු පවුල් වෙත ඔවුන්ගේ අතින් ආධාර බෙදා දී එම අවස්ථාව දේශපාලන කථනයන් සහිත ඡන්ද ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගෙන ඇති බවත් වාර්තා වේ.
මේ අවස්ථාව වඩාත් බරපතල ලෙස ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන බව සමෘද්ධි ආරංචි මාර්ග හෙළි කරයි.
පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය දේශපාලකයින් මෙන්ම මෙවර ප්‍රාදේශීය සභා සඳහා අලුතින් ඉදිරිපත්වන දේශපාලකයින්ගේ ඡන්ද ව්‍යාපාර කාලසටහනට අනුව කටයුතු කිරීමටත්, අදාල දේශපාලකයින් සහල් බෙදා දීම සඳහා පැමිණෙන තුරු අන්ත දුගි අසරණ ජනතාව ඔවුන් කියන ස්ථානවලට ඔවුන් කියන වෙලාවට එකතුකර තබා ගැනීමේ සම්බන්ධීකරණ වැඩසටහන කිරීමට සිදුවීමත් සම්බන්ධව සමෘද්ධි නිලධාරීන් බහුතරයක් දැඩි කණස්සල්ලකින් පසුවන බව වාර්තා වේ.
රුපියල් මිලියන 8040ක් ජනතා මුදල් වැය කරමින් සහල් මෙට්‍රික් ටොන් 40000ක් සකස් කර, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ දැන් පවතින දත්ත අනුව හඳුනාගත් සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම් ලාභීන් ලක්ෂ 20ක් වෙත එම සහල් බෙදා දීම සඳහා රජය මෙම වැඩපිළිවෙළ දියත් කර තිබිණි.