අද අරගලයට ජීවය දීමට පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සරසවි සිසු පිරිස් ඇඳිරි නීතිය දමා දැවැන්ත පොලිස් සහ හමුදා මුරකාවල් දැමූ කොළඹ රැය පහන් කරමින් සිටිති.
අද සවස තුනට පමණ කැලණිය විශ්ව විද්‍යාල භූමියෙන් පා ගමනින් පැමිණි මෙම සරසවි සිසු පිරිසට ලංකාවේ සෑම සරසවියකම ශිෂ්‍ය නියෝජනයක් එක් වී සිටියේය.
ඔවුන්ට අද කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් ද එල්ල වූයේය. ඒ බැංකු මාවත අසල දමා තිබූ මාර්ග බාධකය පෙරළන්නට ගිය අවස්ථාවේ දීය.
විසිර ගිය තරුණ පිරිස් දැන් එක් වී සිටිති.
මේ අරත ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් සිදුකරනු ලබන මහජන විරෝධතාවයන්ට මුවාවී ඇතැම් සංවිධානාත්මක පිරිස් විසින් යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදුකිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවය.
සාමාන්‍ය ජනතාවට අනතුරක් කරන හෝ හානි කරන, සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන, දේපළවලට හානි සිදු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය පොලිසිය සහ හමුදාවන්ට ලබා දී ඇතැයි ද ආරක්ෂක ලේකම්වරයා කීවේය.







