මේ දිනවල ඉන්දියාවට බලපා ඇති අධික උණුසුම හේතුවෙන් එහි නැගෙනහිර ප්‍රාන්ත වන බිහාර්,ඔඩීෂා සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල ආසන්න වශයෙන් පුද්ගලයින් 33 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මියගිය පුද්ගලයන් අතර ඊයේ (31) මැතිවරණ රාජකාරි වල යෙදී සිටි මැතිවරණ නිලධාරීන් කිහිප දෙනෙකු ද සිටින බව වාර්තා වනවා.
ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන උත්තර් ප්‍රදේශ් හි ආරක්ෂක නිලධාරීන් ඇතුළුව අවම වශයෙන් මැතිවරණ කටයුතු වල නිරතව සිටි නිලධාරීන් 9 දෙනෙකු ඊයේ එලෙස මියගොස් තිබෙනවා.
ඉන්දියාව දැඩි උණුසුම් ග්‍රීෂ්ම සෘතුවකට මුහුණ දෙමින් සිටින අතර දිල්ලි අගනුවර කොටසක් මෙම සතිය තුළ රටේ ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 52.9 (127.22 ° F) අගයක් වාර්තා කර තිබුනා.
ඉදිරි දිනවලදී ඉන්දියාවේ වයඹ සහ මධ්‍යම කොටස් වල උෂ්ණත්වය පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන නමුත් ඉන්දියාවේ නැගෙනහිර කොටසේ පවතින උෂ්ණත්වය තවත් දින දෙකක පමණ කාලයක් පැවතිය හැකි බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) ප්‍රකාශ කර තිබෙනවා.
දිල්ලියේ පවතින අධික උෂ්ණත්වය කුරුල්ලන්, වඳුරන් වැනි සතුන් ක්ලාන්ත වීමට මෙන්ම රෝගාතුර වීමට හේතු වී ඇති අතර, නගර සත්වෝද්‍යානය එහි සිටින සතුන්ට සහනයක් ලබා දීමට ජල තටාක ආදිය සූදානම් කර තිබෙනවා. එමෙන්ම සතුන්ට දියර ආහාර සහ ජලය වැඩි වශයෙන් ලබා දීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
ඊයේ දහවල් කාලයේ දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45.4 ක් පමණ වී තිබූ අතර ජනතාව උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටින බවද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
විද්‍යාඥයින් පවසන්නේ ආසියාව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් ඉහළ යන උෂ්ණත්වය සමඟ පොරබදමින් සිටින බවයි.









