දිනසේන රතුගමගේ
වවුනියාව අධිකරණයෙන් නිකුත් කළ නියෝගයකට පටහැනිව නෙඩුන්කේණී වෙඩුක්කුනාරීමලෙයි කෝවිලේ පොංගල් පූජාවක් පැවැත්වීමට ගිය පූසාරීවරයා ඇතුළු පස් දෙනෙකු 7 දා නෙඩුන්කේණී පොලීසිය වීසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පූසාරිවරයා අත් අඩංගුවට ගෙන ඉතිරි හතර දෙනාගේ හැදුණුම් පත්,ජංගම දුරකතන පොලිස් බාරයට ගෙන ඔවුන්ව නිදහස් කොට තිබේ.
ඓතිහාසික තොරතුරු වලට අනුව උතුරේ වඩ්ඩමාන පබ්බත විහාරය ලෙස සලකනු ලබන්නේ මෙම ස්ථානය වන අතර යුද සමයේදී එම පළත් වලට බෞද්ධ ජනතාවට යාමට නොහැකි වූ නිසා හින්දු බැතිමතුන් එම ස්ථානයේ ආදී ලිංගේස්වර කෝවිල නමින් ශිව කෝවිලක් තනාගෙන ඊට පුද පූජා පවත්වයි.
බෞද්ධ නටබුන් වලට හානි සිදු කරමින් මේ ස්ථානයේ ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීමට කෝවිලේ පාලන අධිකාරිය පියවර ගත් අවස්ථාවේදී පුරා විද්‍යා නිලධාරීන් නෙඩුන්කේණී පොලීසියට ඒ බව පැමිණිලි කොට වවුනියාව මහාධිකරණයේ නඩුවක්ද ගොණු කොට තිබේ.
මේ නිසා එම ස්ථානය සම්බන්ධයෙන් දැඩි මත භේදකාරී තත්ත්වයක් හට ගත් අතර ඒ නිසාම වවුනියාව අධිකරණයේ ගොණු වූ නඩු සංඛ්‍යාව හයක් දක්වා ඉහල ගොස් තිබුණි. අවසන් වරට වවුනියාව මහාධිකරණය මගින් නිකුත් කළ නියෝගයේ සදහන් වූයේ මෙම ස්ථානය සම්බන්ධයෙන් නිශ්චිත අයිතිවාසිකම් තීරණයකට එළඹෙන තුරු කිසිම සංවර්ධන කටයුත්තක් හෝ මහා පරිමාණයේ උත්ස්ව කිසිවක් නොපවත්වන ලෙසයි.
ඒ අතරවාරයේ මෙවර දීපාවලී උත්සවය නිමිත්තෙන් මෙම කෝවිලේ මහා පරිමාණයෙන් පොංගල් උත්සවයක් පැවැත්වීම පිණිස විදුලි ජනක යන්ත්‍ර ශබ්දවාහිඔනී යන්ත්‍ර ආදිය රැගෙන යමින් සිටියදී පූසාරීවරයා ඇතුළු පිරිස පොලිස් අත් අඩංගුවට පත්ව ඇත. පොලිස් බාරයේ සිටින පූසාරීවරයාගෙන් පොලීසිය ප්‍රශ්න කරගෙන යයි.