දිනසේන රතුගමගේ –
රාජකාරී අවස්ථාවේ මත්පැන් සාදයක් පවත්වා මන්නාරම අරුවි ආරු ඔයේ පිහිනමින් සිටියදී අතුරුදහන් වූ ග්රාම නිලධාරීවරයාගේ මළ සිරුර 30 දා රාත්රී නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ.
මේ සිද්ධියෙන් මියගොස් තිබුණේ මන්නාරම නානාට්ටන් තෝමස්පූරී ග්රාම සේවා වසම බාර ග්රාම නිලධාරී එස්.ජනාර්තන් නැමති 27 භැවිරිදි අයෙකි.
ඔහු සමග තවත් ග්රාම නිලධාරීන් හතර දෙනෙකු හා වෙනත් පුද්ගලයෙකු මන්නාරම නානාට්ටන් අරුවි ආරු ඔය අසල මත්පැන් සාදයක් පවත්වා අනතුරුව ඔයේ පිහිනමින් සිටි අවස්ථාවේදී ග්රාම නිලධාරීන් පස් දෙනාම දියේ ගසා ගෙන ගොස් තිබේ.
සිද්ධියෙන් පසුව නාවික හමුදාව හා ප්රදේශවාසීන් මුරුන්කන් පොලීසියේ මැදිහත් වීම මත දියේ ගිළී සිටි ග්රාම නිලධාරීවරු හතර දෙනෙකු බේරා ගත් නමුත් මේ ග්රාම නිලධාරීවරයා අතුරුදහන් වී සිටියේය.
මියගිය ග්රාම නිලධාරීවරයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මන්නාරම මුරුන්කන් රෝහලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර මුරුන්කන් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.