අතුරුගිරියේ ක්ලබ් වසන්ත සහ නයන වාසල එදිරිසූරිය ඝාතනය කර කේ.සුජීවා ඇතුළු තවත් සිවු දෙනෙකුට බරපතල තුවාල සිදුකරමින් සිදුකළ පාතාලයේ වෙඩි තැබීමට මෙම නව ටැටූ චිත්‍රාගාරය විවෘත කළ පුද්ගලයාගේ සම්බන්ධතාවයක් පවතී දැයි මේ වනවිට විමර්ශන අංශවල දැඩි අවධානයට ලක් වී තිබේ.
ඔහුගෙන් ලබාගෙන ඇති ප්‍රකාශයන් ඔස්සේ විමර්ශන සිදුකරන විට හෙළි වී ඇත්තේ ඔහුට මෙම ටැටු චිත්‍රාගාරය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ඇත්තේ පාතාලයේ මහමොළකාරයෙක් වූ ලොකු පැටී ලෙස හඳුන්වන තැනැත්තාගේ මෙහෙයවීමෙන් බවය.
මෙම ටැටූ ශිල්පියා වෙනත් පුද්ගලයෙකුගේ චිත්‍රාගාරයක වැඩ කරද්දී මිතුරු වූ අයෙකුගේ යෝජනාවකට අනුව මෙම තමන්ගේම ටැටූ චිත්රාගාරයක් විවෘත කර ඇති බවත් මිතුරා විසින් ආපසු ගෙවීමේ පදනම මත සිය සොයුරාගෙන් මුදල් ඉල්ලා දෙන බව කියමින් ලොකු පැටීගේ ලක්ෂ 16ක මුදලක් චිත්‍රාගාරය ආරම්භ කිරීම සඳහා ලබා දී ඇති බවත් හෙළි වී තිබේ.
ඒ අනුව මෙම ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ක්ලබ් වසන්තව ගෙන්වා ගන්නේත් මුදල් ආයෝජනය කළ පාතාලයන්ගේ අවශ්‍යතාවයට බව විමර්ශන මගින් හෙළි වී ඇති නමුත් මෙම ටැටූ ශිල්පියා මේ අපරාධයට දැනුවත්ව සම්බන්ධ වී දැයි සොයා බැලීමට විමර්ශන අංශ දැඩි අවධානය යොමු වී ඇත. ඔහුගේ බිරිය සහ දරුවන් ද මේ අවස්ථාවට එක්කර ගැනීමත් මේ වනවිට බිරියට වෙඩි වැදී රෝහල්ගතව සිටීමත් සම්බන්ධව ද අවධානය යොමු වී ඇත.
මේ අතුරුගිරියේ චිත්‍රාගාරය පිහිටි ස්ථානය මින් පෙර වර්ෂ 2017 දී අතුරුගිරියේ බණ්ඩා ඝාතනය කළ තැන බවත් ඒ ඝාතන සැලසුම කර තිබුණේ ඒ වනවිට කළුතර බන්ධනාගාරගතව සිටි ලොකු පැටී බවත් කියැවිනි . එම ඝාතනයට ද ඝාතකයින් දෙදෙනෙක් එවා තිබුණේය.
මෙම භූමිය පාතාල දඩයමට හුරු පුරුදු තැනක් වීම, ලොකු පැටී නැමැත්තාගේ නම ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ වීම වැනි කරුණු පිළිබඳව ද විමර්ශන අංශ අවධානයට ලක් කර ඇත.
මේ වනවිට දුරකථන ජාල විමර්ශනයක් සිදුකිරීමට විමර්ශන අංශ සූදානම් වේ. මෙම ඝාතනය ඉතාම සැලසුම් සහගතව විශාල මුදලක් වියදම් කරමින් මෑත කාලයේ සිදුකළ පාතාල ඝාතනවලින් එක්ක බව මේ වනවිට හෙළිවෙමින් ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.







