ඉදුනිල් කහටපිටිය –
තැන්කුඹුර ඉළුක්මෝදර සුසාන භූමිය ආසන්නයේ පිහිටි නිවසක නිතර තරුණයින් පිරිසක් මත්කුඩු පානය කරන බවට පොලිස් බුද්ධි අංශ ලබා දී තිබූ තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගත් සිව් දෙනෙකු පොලිස් ග්රහණයෙන් මුදා ගැනීම සඳහා රොට් වයලර් සහ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයින් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් දෙසට උසි ගැන්වූ බව කියන එකම පවුලේ මව,පියා හා දියණිය මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශය මගින් අද (26) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
බල්ලන් දෙදෙනා ඇඟට පැනීමත් සමඟ පොලිස් නිලධාරීන් කලබල වෙත් දී සැකකරුන් සිව් දෙනා පලා ගොස් ඇති අතර ඔවුන් අතරින් දෙදෙනෙකු ට මාංචු දමා තිබූ බව පොලීසිය පවසයි.
බල්ලන් මුදාහැර සැකකරුවන්ට පලා යෑමට උපකාර කිරීම සහ සාපරාධි බලහත්කාරය යටතේ මෙම මව, පියා හා දියණිය අධිකරණයටඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
මංචු සමඟ පළාගිය සැකකරුවන් අතර සිටින බලු සංඛ නැමැත්තා මෙයට මාස කිහිපකට පෙර මත්කුඩු ග්‍රෑම් දෙකක් සමඟ අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත සිටින්නෙකු බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක ගේ උපදෙස් මත මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික් සම්පත්ගේ මෙහෙයවීමෙන් දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක ඇතුළු කණ්ඩායමක් පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.







