තමන්ගේ නම අවභාවිතා කරමින් යම් කිසි පුද්ගලයෙක් රැකියා ලබා දීම සඳහා යැයි කියමින් මේ රටේ තරුණයින්ගේ මුදල් වංචා කිරීමේ ජාවාරමක් හෙළි දරව් වී ඇති බවත් ඒ සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශනයක් ආරම්භ කර වරද කරුවන්ට නිතීයේ උපරිම ප්‍රමාණයෙන් දඬුවම් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
අගමැතිවරයා මෙම ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධව අද අගමැතිවයාගේ විශේෂ අවධානය යොමු කළ අවස්ථාවේ දී ඊට පිළිතුරු ලබා දෙමිනි.
“විශේෂයෙන් ඔබතුමාට කියන්න ඕන. මා මේ කාරණාව මතු කරන්නේ ඔබතුමාගේ පුද්ගලික සම්බන්ධකමක් තියනවා කියලා කිසිසේත් විශ්වාස කර නොවේ. ඔබ තුමාගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් ලෙස හඳුන්වමින් සිටින පුද්ගලයෙක් ඔහු බැඳනු යම් කණ්ඩායමක් එක්ක මේ රටේ තරුණයන්ගේන් ලක්ෂ හය බැගින් අරන් තියනවා ඩෙන්මාර්ක්වල රැකියා ලබා දෙනවා කියලා.”
“බොහොම කූට වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒක නෙත් එෆ්.එම්. නාලිකාවෙත් හෙළි දරවු වුනා. මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නෑ ඔබතුමා ඊට පුද්ගලිකව සම්බන්ධකමක් තියනවා කියලා. මේ කාරණාව මා ඔබතුමාගෙ අවධානයට ගෙන එනවා. විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා ඉල්ලා සිටිනවා. “ විපක්ෂ නායකවරයා කීවේය.
අගමැතිවරයා පැවසුවේ මේ ප්‍රශ්නය නැගීම ගැන තමන් විපක්ෂ නායකවරයාට ස්තුතිවන්ත වන බවය.
“මේ පිළිබඳව මා හෝ මා සම්බන්ධ ආයතනයක් හීනයකින්වත් සම්බන්ධයක් නෑ. අදාල සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ රහස් පොලිසියට භාර දීලා දැන් කරගෙන යනවා.”
“විවිධ රටේ අය එක එක් අයාගේ නම් පාවිච්චි කරලා තියනවා. දඬුවම දඬුවම ලෙසම ක්‍රියාත්මක විය යුතුයි කියලා මා විශ්වාස කරනවා.”







