ශ්‍රියානි විජේසිංහ –
කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ඇසේ ශල්‍යකර්මයක් කිරීමෙන් පසු මියගිය තිස් පස්හැවිරිදි දෙදරු මවගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් රෝහල් මට්ටමින් පැවැත්වීමට විශේෂඥ ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කාන්තාව සම්බන්ධව සිදුකල පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළිව ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් මරණය සිදුව ඇති බව ය. කෙසේ නමුත් හෘදයාබාධයක් ඇතිවීමට හේතු වූ කරුණ කුමක්ද යන්න පිලිබඳව නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා මෙම පරික්ෂණය ආරම්භ කරන බව රෝහල් ප්‍රකාශයෙක් පැවසුවේය.
නීරෝගී තත්ත්වයෙන් පසු වූ බවට වාර්තාවන මෙවැනි තරුණ මවක් හෘදයාබාධයකින් එක් වරම මිය යෑම සැක කටයුතු තත්ත්වයක් ඇති කර තිබෙන්නේ යැයි කී එම ආරංචි මාර්ග මෙම මරණයට ලබා දුන් ඖෂධවල බලපැමක් තිබේදැයි යන්නත් වැඩි අවධානයකින් යුතුව විමසීමට නියමිත බව කිවේය.
මෙහිදී මෙම සැත්කමට මුලසිට සම්බන්ධ වූ සියලුම පාර්ශ්ව කරුවන්ගෙන් කට උත්තර ලබා ගනිමින් සටහන් කිරීමට ඉතා ඉක්මනින් ආරම්භ කරන බවත් මෙම වාර්තාව සති දෙකක් ඇතුළත සකස් කර අවසන් කරන බවත් විශේෂඥ කමිටුව සඳහන් කළේ යැයි එම ප්‍රකාශකයා පැවසුවේය.
කෙසේ නමුත් මෙම සැත්කමට මුල සිට සම්බන්ධ වූ ඇතැම් පාර්ශවකරුවන් මරණයෙන් පසු ඇතිවූ කම්පන තත්තවය හේතුවෙන් සේවයට වාර්තා කර නොකිරීම හේතුවෙන් කටඋත්තර ලබා ගැනීමට ප්‍රමාද වනු ඇති බවද ඔහු පැවසුවේය.