ගතවුණු සතිය
අයවැය විවාදය බෙහෙවින්ම ඕලාරික මුග්ධ ස්වරූපයක් ගෙන තිබුණි. විෂායානුබද්ධව කතා කරමින් සංවර්ධනාත්මක විවේචනයක් ඉදිරිපත් කළේ මන්ත්‍රීවරු අතලොස්සකි. කුණු මඩ ගසා ගැනීම්, අපහාස, සහ අශික්ෂිත හැසිරීම්වල අශිෂ්ට ප්‍රකාශනයක් කෙළවර රටේ බුද්ධිමත් ජනතාව තිගැස්සූ වැදගත්ම සිද්ධියක් අනුර කුමාර දිසානායක විසින් අයවැය විවාදයේ අවසාන දවසේ සිදුකළේය.
යුගදනවි ගිවිසුම
මෙතෙක් මේ රටට සඟවමින්, කැබිනට් මණ්ඩලයට සඟවමින් ජනතාවට සඟවමින් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරා සහ ඇමරකානු නිව් පෝට්‍රස් ආයතනය සමග ගැසූ බව කියන රහසිගත ගිවිසුම අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමය.
මේ ගිවිසුම ඉල්ලා විදුලි සේවකයෝ මහා හඬක් නැගූහ. චම්පික රණවක සිය කතාවේ දී අතිශය බිහිසුණු ලෙස ප්‍රශ්න කළේ මේ ගිවිසුම ගැනය. කැබිනට් ඇමතිවරු කැබිනට් මණ්ඩලයෙන් පිටතට ඇවිත් ආණ්ඩුවට එරෙහි විවේචන ආරම්භ කළේ මේ නොදුටු ගිවිසුම මුල්කරගෙනය. කවුරුත් හිතුවේ මේ ගිවිසුම සභාගත වූ විට මේ රටේ පෙරළිකාරයින් මහා උද්දාමයකට පත් වනු ඇතැයි කියාය. එහෙත් එවැනි බරක් සහිත සමාජ කථිකාවක් හැදුනේ නැත.
එය මේ දේශපාලනයේ ගැඹුරෙහි තරමය. සිදුවී ඇත්තේ ඔවුන්ට කතා කිරීම සඳහා මාතෘකාවක් අඩුවීමය. සභාගත කළ එකාට ලකුණු වැටෙනු ඇතැයි බියෙන් හැකි තරම් මුණිවත රැකීමය. දැන් අනුරට එම ගිවිසුම ලැබුණු හැටි ගැන ආණ්ඩුව සෙවිල්ලේය. එය නම් මරුය.
ගිවිසුම සභාගත කරමින් අනුර හෙළි කළ කතාව සබුද්ධික මිනිස්සුන්ට හිතන්නට යමක් ඉතිරි කර ඇත.
තමන් විසින් 27 /2 යටතේ ප්‍රකාශයක් කර අවස්ථා ගණනක දී ශ්‍රී ලංකා රජය සහ නිවු ෆෝට්‍රස් සමාගම අතර ගිවිසුම ඉල්ලුවත් එය ලබා නොදුන් බව කී මන්ත්‍රීවරයා විදුලි බල ඇමතිවරයා එය දෙසතියකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කී නමුත් ඉන් අනතුරුව ඔහු පාර්ලිමේන්තුවේදී වත් නුදුටු බව අනුර කීවේය.
ඔහු පැවසුවේ රාජ්‍යයේ ආරක්ෂාව සම්බන්ධව, ආර්ථික ස්වාධීනත්වය සම්බන්ධව ඍජුව බලපානු ලබන, රාජ්‍ය දේපල සම්බන්ධව විදේශීය සමාගමක් හා කරන ගනුදෙණුවක් රාජ්‍ය මුදල් පිළිබඳ වගකීම සහිත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධව බරපතල සැකයක් තිබුණු බවය. අඩුම තරමින් කැබිනට් මණ්ඩලය තුළවත් මේ ගිවිසුම පිළිබඳ ප්‍රමාණවත් සංවාදයක් ඇතිවී තිබිය යුතු බවය. බැසිල් රාජපක්ෂ තමන්ගේම කැබිනට් මණ්ඩලයටත් සැඟවූ එම ගිවිසුම අද තමන් සභාගත කරන බව කී මන්ත්‍රීවරයා එම ගිවිසුම සභාගත කළේය.
අනතුරුව ඔහු හෙළිකළේ තිගස්වන සුලු කතාවකි.
ගිවිසුම ගැහුවෙ කැබිනට් අනුමැතිය නුදුන් සමාගමක් එක්ක…
“ මුදල් අමාත්‍යාංශ විසින් 2021.09.06 වැනි දින ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ 8.2 වගන්තිය අනුව භාණ්ඩාගාර ලේකම් තුමාට නිවු ෆෝට්‍රස් එනජි සමාගම සමග ගිවිසුමක් අත්සන් කළ බවයි තිබෙන්නේ.“
“ඒ කැබිනට් පත්‍රිකාව අනුව කැබිනට් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යාංශයට බලය ලබා දී තිබුණේ ඇමරිකාවේ නිවු ෆෝට්‍රස් සමාගම සමග ගිවිසුම අත්සන් කිරීමට පමණයි. නමුත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ගිවිසුම්ගත වී ඇත්තේ ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමග නොව, ඇමරිකා එක්සත් ජනපදයේ ලියාපදිංචි කර ඇති එන්.එෆ්.ඊ. ශ්‍රී ලංකා පවර් හෝල්ඩිං නැමැති සමාගමක් සමගයි.“
“එන්.එෆ්.ඊ. ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් සමාගම ලියාපදිංචි කරලා තියෙන්නෙ ඇමරිකාවෙ. මුදල් අමාත්‍යාංශ ලේකම් ආටිගල ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මේ ගිවිසුම අත්සන් කරලා තිබෙන්නේ නිව් ෆෝට්‍රස් එනජි සමාගම සමග නොවෙයි. එන්.එෆ්.ඊ. ශ්‍රී ලංකා පවර් හෝල්ඩිං සමාගමත් එක්ක.“
“ඒ වගේම මේ ගිවිසුමේ 13.1 වගන්තිය පැහැදිලිව සඳහන් කර තියනවා මේ ගිවිසුම අවුරුදු දෙකක් යනකම් දෙපාර්ශවය අතර එකඟතාවයකින් තොරව රටට හෝ ජනතාවට හෙළිකරන්නෙ නෑ කියලා. “
තමන්ගේම කැබිනට් මණ්ඩලයටත් බොර කියමින්, නොමග යවමින්, රටේත් පාර්ලිමේන්තුවේත් බරපතල විරෝධයක් ඇති වෙද්දී මාස එක හමාරක් තිස්සේ දැවැන්ත උත්සාහයකින් එය සඟවා තබා ගත්තේ කුමක් නිසා දැයි දැන් පැහැදිලි බව මන්ත්‍රීවරයා කීවේය.
අය වැය විවාදය අතර දුටු වැදගත්ම සාධනීය සිදුවීම එයය.
බංකොලොත් පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුවේ දී කතානායකවරයා කටයුතු කළ පෞරුෂ රහිත පක්ෂග්‍රාහී ස්වරූපය පිළිබඳව විපක්ෂයෙන් දැඩි විවේචන එල්ල විය. ඒ නිසාම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇතිවෙතැයි කීවේය.
ඒ අතර අතිශය නිග්‍රහශීලී හැසිරීම් දුටුවේය. පාර්ලිමේන්තුව රැස්වන දවසක එක් විනාඩියක් සඳහා මහජන මුදලින් රුපියල් ලක්ෂයක් වැය වන බව පසුගිය අප්‍රේල් 23 දා පාර්ලිමේන්තුවේදීම හෙළිදරවු කළේ සභා නායක දිනේෂ් ගුණවර්ධනය.
එහෙත් ඒ කාලය බොහෝ විට වැයවුනේ පහත් පෙළේ මඩටය. උදාහරණය සරත් ෆොන්සේකා සහ සරත් වීරසේකරය. තමන් ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියදී ඇතිකරගෙන දශක ගණනක් නඩත්තු කරගත් ගැටුම ජීවිතය අවසාන කාලයේ පාර්ලිමේන්තුවේ දී දිගහැරගත් සරත් ෆොන්සේකා සහ සරත් වීරසේකර ඒ වෙනුවෙන් ජනතාවගේ මුදල් මිලියන ගණනක් වැය කරනු දුටුවෙමු.
කාන්තා අපහාස, මරණීය තර්ජන සහිත මැරකම් පාර්ලිමේන්තුවේ වරු ගණන් විනාශ කළේය. පාර්ලිමේන්තුවේ කාලය සම්බන්ධ ප්‍රශ්නයක් විසඳා ගැනීමට ගත් උත්සාහයක් මැර ගැටුමක් දක්වා දික්වුණු ඇයුරු පෙනුනි. කාංචන විජේසේකර සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්සටන් ප්‍රනාන්දු සජබ මන්ත්‍රී මනුෂ නානායක්කාරට තර්ජනය කිරීම සහ ඔහුව තල්ලු කර කායිකව පීඩාවට පත් කිරීම සම්බන්ධව ඇති වූ ප්‍රශ්නය ගුටි කෙළියකට නොගියේ අනූනවයෙනි.
අනතුරුව සිකුරාදා දිනයේ මනුෂ නානායක්කාර කළ කතාවෙන් අනතුරුව කාංචන විජේසේකර පාර්ලිමේන්තු ගර්භය තුළ කෑ ගැසුවේය.
“ උඹ වරෙන් එලියට“
මනුෂ අල්ලාගෙන අතපය කැඩීමට විපක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂයේ ලොබියට පැමිණියහ. මනුෂ ගර්භයෙන් පිටවී ගියේ කතානායකවරයාගේ දොරටුවෙනි. එසේ පිටවී ඔහු විපක්ෂ නායකෙවරයාගේ කාර්යාලයට ගියේය. මනුෂව ගුටි නොකා බේරාගන්නට හොර රහසේ පාර්ලිමේන්තුවෙන් පිට කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කළේය.
අනතුරුව විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ රැස්වීමක් කැඳවිනි. පාර්ලිමේන්තුව වර්ජනය කරන්නට තීන්දු වූයේ එහිදීය. සෙනසුරාදා සිට සඳුදා දක්වා සජබ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ගර්භයට නොපැමිණ ආරක්ෂාව තහවුරු කරන තෙක් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව පවසමින් උද්ඝෝෂණයක නිරත වූහ.
විශේෂත්වය වන්නේ ආරක්ෂාව ඉල්ලා පාර්ලිමේන්තු ගර්භයට නොපැමිණෙන මන්ත්‍රීවරු පාර්ලිමේන්තු ආපන ශාලාවට උදෑසනින්ම වාර්තා කිරීමය. දවල්ට කා හවසට තේ එකත් බී සජබ මන්ත්‍රීවරු පිටවී ගියහ.
අගමැති උද්ඝෝෂකයන් අතර
පසුගිය 06 වැනිදා පාර්ලිමේන්තුවට එන මහින්දට විපක්ෂයේ උද්ඝෝෂණය සැල වී තිබිණි. ඔහු ෂෙහාන් සේමසිංහට දුරකථන ඇමතුමක් ලබා දී සිදුවන්නේ කුමක් දැයි විපරම් කර බලා කියන ලෙස දන්වා සිටියේය. ඒ ස්ථානයට ගිය ෂෙහාන් මහින්දට දුරකථන ඇමතුමක් ලබා දී පවතින තත්වය විස්තර කළේය.
මම විනාඩි 10න් එනවා. අගමැතිවරයා ෂෙහාන්ට කීවේය. ෂෙහාන් තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සමග උද්ඝෝෂණය අසලට යනවිට මහින්ද එතැනය. ඔහු සිය වාහනය මන්ත්‍රීවරුන් ඉදිරියේ නවතා උද්ඝෝෂණය පවත්වන තැනට ගියේය.
“ ඒ.. මේ මොනවද කරන්නේ… මොකක්ද මේ විරෝධය“ මහින්ද ඇසුවේ සිනාසෙමිනි. සජබ මන්ත්‍රීවරුත් මේ අනපේක්ෂිත ආගමනය තුළ මවිත වූහ. ඉතාම සුහද සංවාදයක් ඉන් අනතුරුව සජබ මන්ත්‍රීවරුන් හා ඇගමැතිවරයා අතර ඇතිවිනි.
“විරෝධතාවයක් සංවිධානයක් කරන්නෙ ඔහොම නෙමෙයි. විරෝධතාවයට මීට වඩා මන්ත්‍රීවරු සම්බන්ධ වෙනවා. මම කොච්චර මෙහෙම උද්ඝෝෂණ කරලා තියනව ද?. මොනතරම් පාගමන් ගිහින් තියනව ද?. මා ඒවා කළේ ලොකු සංවිධානයක් ඇතිව.“ අගමැතිවරයා සිය උද්ඝෝෂණ හා සිහිකළේ ඒ වකවානුවේ තමන්ගේ සටන් සගයාව සිටි රාජිතව ද අතීතයට රැගෙන යමිනි.
ටික වෙලාවක් ඔවුන් සමග සංවාදයේ සිටි අගමැතිවරයා පාර්ලිමේන්තුවට ගියේය.
අඟහරුවාදා විරෝධය අවසන් වූයේ සිදුවූ සිදුවීම් සම්බන්ධවත් නැවැතත් එවැනි අවස්ථාවක් පාර්ලිමේන්තු ගර්භය තුළ ඇති නොවීම සඳහාත් නියෝජ්‍ය කතානායක රන්ජිත් සියඹලාපිටියගේ සභාපතිත්වයෙන් යුතුව 11 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කිරීමෙනි.
අය – වැය සම්මතයි
වර්ජන, වියානුබද්ධ නොවූ හෑලි, කුණුහරප, කාන්තා අපහාස, විචක්ෂණ නොවූ හැසිරීම්, මුග්ධකම් මැද කෝටි සංඛ්‍යාත ජනතා මුදලක් අපතේ යැවූ සැහැල්ලු අයවැය බැණ හඬ ගසා ගැනීම්වලින් අනතුරුව ඊයේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවේ දී අයවැය සම්මත විය. ඒ සංශෝධන සහිතව වැඩි ඡන්ද 93 කිනි.
මන්ත්‍රීවරු 157 දෙනෙක් අය වැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඒ අතර විය. විපක්ෂව ඡන්ද 64ක් ලැබුණි.
පාර්ලිමේන්තුව 2022 ජනවාරි 11 දක්වා කල් තැබිණි. නිදහස් යැයි ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ 76 වැනි අය වැය එසේ නිමාවට පත් විය. අය වැය අවසානයේ මුදල් ඇමතිවරයා සංවිධානය කරන සම්ප්‍රදායික භෝජන සංග්‍රහය සමගි ජන බලවේගය විසින් වර්ජනය කළේය. විපක්ෂ නායකවරයා බත්තරමුල්ලේ භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබිණි. සජබ මන්ත්‍රීවරු එතැනට ගියහ.
පක්ෂවල දේශපාලන කටයුතු සැලසුම් වුණු හැටි
සජබ ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡාව එහි මන්ත්‍රී කණ්ඩායම හා සජිත්ගේ ප්‍රධානත්වෙයන් පැවැත්වුනේ පසුගිය සඳුදාය. ඊට සමගාමීව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනාක සිය සදහම් යාත්‍රාව හඟුරන්කෙත වලපනේ ප්‍රදේශවල දියත් කර තිබුණේය. එහි දී ඔහු විහාරස්ථාන 35කට ගොස් ප්‍රාදේශීය සංඝ නායකවරුන් හමුවී සාකච්ඡා කර තිබිණි.
සජබ ආණ්ඩුවට සම්බන්ධ සුලු පක්ෂය 3ක නියෝජිතයන් හා එක්සත් ජාතික පක්ෂයට සහය දක්වමින් සිටින සුළු පක්ෂ 03ක් සමග සාකච්ඡා පවත්වා තිබිණි. සජබ කීවේ එම සාකච්ඡා සාර්ථක බවය.
පසුගිය සඳුදා අගමැතිවරයා ද ආණ්ඩු පක්ෂයේ නවක මන්ත්‍රීවරු සමග අගමැතිවරයා සාකච්ඡාවක් පවත්වා තිබිණි. ඒ නවක මන්ත්‍රීවරුන්ගේ අදහස් දැනගැනීම සඳහාය.
“දන්න දේ නොබියව කියන්න.“ ඇගමැතිවරයා කීවේය. නවක මන්ත්‍රීවරුන්ගෙන් කියැවුනේ විවේචනාත්මක අදහස් ගොන්නකි. අගමැතිවරයා කීවේ මතුවී ඇති ප්‍රශ්න සඳහා පිළිතුරු සෙවීමේ එකම මාර්ගය සාමුහිකව අභියෝගවලට මුහුණ දීම බවය.
ජනපති නොකෑ ලනුව…
බුඩාබියේ පැවැත්වූ ඉන්දීය සාගර සමුලුවට සහභාගී වී ජනපතිවරයා ලංකාවට එන විට රට අඳුරේය. විදුලි ඉංජිනේරුවරු වර්ජනයක් දෙසට තල්ලු වෙමින් සිටියහ. අගමැතිවරයා අමාත්‍යවරු සමග කළ සාකච්ඡාවේ දී ඔහු ලැබුණු පළමු යෝජනාව වූයේ වෘත්තීය සමිතිවෙත නොනැමී තදින් ක්‍රියා කරන ලෙසය. එහෙත් බලාපොරොත්තු නොවුණු ආකාරයට ජනපතිවරයා එම යෝජනා ප්‍රතික්ෂේප කරමින් සාකච්ඡාමය ප්‍රවේශයක් වෙත ගොස් තිබිණි.
වෘත්තීය සමිති සමග ජනපතිවරයාය සඳුදා සාකච්ඡා කළේය. යුගදනවි බලාගාරය විකිණීම සඳහා මේ වනතුරුත් කිසිම තීන්දුවක් ගෙන නැති බව ජනාධිපතිවරයා වෘත්තීය සමිතිවලට කීවේය. වර්ජනය නැවතිනි. විදුලි වෘත්තීය සමිති කීවේ තාවකාලිකව තමන් වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හැරියේ ජනාධිපතිවරයා ලබා දුන් සුභවාදී ප්‍රවේශය නිසා බවය.
සඳුදා දිනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ද සිරිකොත දී රැස් වූහ. අකිල, වජිර, රංගේ ඇතුළු ප්‍රධානීන් රැසක් එම අවස්ථාවට එක්වී උන්හ. අභ්‍යන්තර ගැටුම් සම්බන්ධව මෙන්ම පක්ෂයේ ඉදිරි සැලසුම් සම්බන්ධව සාකච්චා කෙරිනි. එම සාකච්ඡාවේ දී ගැලවී එන කණ්ඩායම් හා විපක්ෂ කණ්ඩායම් පොදු අරමුණක් වෙනුවෙන් එක් කරගැනීමට වගකීම රනිල්ට වෙත පැවරිනි.
ජාතික ජනබලවේගය නායක අනුරගේ ප්‍රධානත්වයෙන් එහි ප්‍රධාන සමුලුව ලබන 20 දා පැවැත්වීමට මේ අතර එම පක්ෂ ක්‍රියාකාරීන් සැසුම් කර ඇත. එහි විධායක සභාව එහිදී නම්කර ගැනීමට නියමිතය. ජාතික ජන බලවේගය ඇතැම් දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක් සමග නව දේශපාලන එකමුතුවක් සඳහා සාකච්ඡා ආරම්භ කරමින් සිටී.
රට අර්බුදයක කරවටක් ගිලී ගොස්ය. දැන් මිනිසුන් වෙනස්විය යුතු බවට දේශපාලනය තුළින්ම යෝජනා කරමින් සිටී. අපට පෙනෙන ආකාරයට තවමත් ඒ වෙනස සඳහා සමාජය සූදානම් නැත.