බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

කොයි කිල්ලෝටයෙත්  ගල් අඟුරු දැලි කුණු…  චම්පික රණවක – අජිත් පී පෙරේරාගේ සිට පුණ්‍ය කුමාර ජයකොඩි දක්වා ගල් අඟුරු  කතාව විගණනයේ ඇසින්!

ගල් අඟුරු ගනුදෙනුවල කුප්‍රකට ඉතිහාසය ගැන  විගණන වාර්තා තුනකින්  හෙළිවන කතාවක් කියවමු!

by editor
අප්‍රේල් 17, 2026
in සමාජ
coal
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන සහ ලලිත් චාමින්ද විසිනි –

ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ වසර ගණනාවක් පුරා සිදුව ඇති මහා පරිමාණ දූෂණ, අක්‍රමිකතා සහ අලාභයන් සම්බන්ධයෙන් සෙවීමට මේ වනවිට ජනාධිපතිවරයා විසින් පූර්ණ බලතල සහිත ජනාධිපති කොමිසමක් පත් කර තිබේ.

1978 අංක 04 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධිවිධාන) පනතේ සංශෝධිත ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 07 දරන පනතේ 2 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම කොමිසමේ සභාපති    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගය.    සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න කටයුතු කරති. මේ තුන් පොලම මේ වනවිටත් සක්‍රීය සේවයේ යෙදෙන විනිසුරුවරුන්ය.

මේ කොමිසමේ විශේෂ අවධානයට ලක්වනු ඇතැයි අප විශ්වාස කරන විගණන වාර්තා තුනක්   ගල් අඟුරු ගනුදෙනු ඉතිහාසයේ මේ වනවිට නිකුත් වී තිබේ. එම විගණන වාර්තා මේ රටේ දුර්දාන්ත ගනුදෙනුවල ස්වරූපය එළි දක්වන ආලෝක ධාරා වුවත් ඒ සම්බන්ධව ජාතියක් වශයෙන් ඇත්තටම අපි ප්‍රමාණාත්මක අවධානයක්  යොමුකර තිබුණේ නැත. එසේ යොමුකර තිබුනා නම් දූෂිත පාලන පිළිවෙත අවසන් කරන්නට ජනවරමක් සහිතව පත් වුන මේ අණ්ඩුව මේ තරම් නාවර පෙරා ගන්නේත් නැත.

 විගණන වාර්තා තුනක්

ඉතිහාසය දෙස බැලීමේ දී ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධව  විශේෂ විගණන වාර්තා තුනක් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින්  නිකුත් කර ඇති අයුරු පෙනේ.

මෙම වාර්තා මගින් තියුණු ලෙස  අනාවරණය කර ඇත්තේ  වත්මන් විපක්ෂය බලයේ සිටි සමයන්හිදී මෙන්ම පසුගිය පාලන සමයන්හිදී ද මෙරට ජනතාවගේ බදු මුදල් බිලියන ගණනින් ගල් අඟුරු ගනුදෙනු සඳහා  අවභාවිත වී ඇති බවය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

එම වාර්තා තුන විසින්  හෙළි කරන කතාවේ සාරාංශය මෙසේ සංක්ෂිප්ත කර තබමු.

  • රුපියල් මිලියන 4,145ක මුල්ම අලාභය (2009 – 2016)

ගල් අඟුරු ගනුදෙනු පිලිබඳ මුල්ම විගණන වාර්තාව ඉදිරිපත් වන්නේ  2016 වර්ෂයේදී  ය. එසේ නිකුත් කරන ලද මුල්ම විශේෂ විගණන වාර්තාව මගින් 2009 වසරේ සිට 2016 ජුනි දක්වා කාලය තුළ ගල් අඟුරු ගනුදෙනුවල ස්වරූපය ආවරණය කළේය.

එහිදී අනාවරණය වූයේ ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින දුර්වලතා හේතුවෙන් රජයට රුපියල් මිලියන 4,145.43ක දැවැන්ත ඇස්තමේන්තුගත අලාභයක් සිදුව ඇති බවය.

මෙම අලාභය, අමතර වියදම් සහ ආදායම් අහිමි වීම් සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් හඳුනාගත යුතු බවටත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කළ යුතු බවටත් විගණනය නිර්දේශ කර තිබිණි.

එහෙත් එම නිර්දේශ ක්‍රියාත්මක වූයේ නැත.  ඉන් පසු බලයට පත් වූ කිසිදු පාර්ශවයක් ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයක්  නොගැනීම  සහ තමන් අනුගමනය කළේ පසුගිය ප්‍රසම්පාදන පිළිවෙත බව දූෂණයෙන් තොර සමාජයක් පිළිබඳ සිහිනය රැගෙන පැමිණි  ජාතික ජන බලවේගය ප්‍රකාශ කිරීම දක්වා ඒ දූෂිත ගනුදෙනුවල ස්වරූපයේ යථාර්ථය  විහිදෙයි.

රාජපක්ෂ පාලනය ගනුදෙනුවලට ඉහඳ තිබ්බ හැටි

මේ වනවිට ගල් අඟුරු  වංචාව සම්බන්ධව හඬා වැටෙන ප්‍රධාන පාර්ලිමේන්තු හඬ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානකය.  පොහොට්ටුවේ මන්ත්‍රී තුන්දෙනාගෙන් කෙනෙක්ය.

සලකුණු කළ යුතු වන්නේ ගල් අඟුරු සම්බන්ධ වංචාකාරී ගනුදෙනු සම්බන්ධව ප්‍රධානම චෝදනා ගොනු වන්නේ රාජපක්ෂ පාලන සමයට විමය.  විශේෂයෙන් 2009-2014  සිදුවූ ගල් අඟුරු ප්‍රසම්පාදනයන්හි “ටෙන්ඩර් පටිපාටියෙන් තොර ප්‍රදානයන්” සම්බන්ධයෙන් 2016 විගණන වාර්තාවේ ඉතා පැහැදිලි සත්‍යාපිත දත්ත අන්තර්ගත වී තිබුණේය. එම වාර්තාවේ සඳහන් ප්‍රධාන කරුණු පහත පරිදි සාරාංශගත කළ හැකිය:

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැර වීම සහ ‘නොබෙල්’ (Noble) සමාගමේ මැදිහත්වීම – 2016 විගණන වාර්තාවට අනුව, ලක්විජය බලාගාරයට මුල්වරට ගල් අඟුරු ලබා ගැනීමේදී විධිමත් විවෘත ටෙන්ඩර් පටිපාටියකට යෑම වෙනුවට, සීමිත සමාගම් කිහිපයක් අතර පමණක් ලංසු කැඳවීම් සිදු කර තිබේ. එහිදී වඩාත් මතභේදාත්මක වූයේ Noble Resources නම් සමාගම වෙත දිගුකාලීන සැපයුම් කොන්ත්‍රාත්තුවක් ලබා දීමයෙ.

කැබිනට් පත්‍රිකා මගින් ලබා දුන් අවසර: විගණනය මගින් පෙන්වා දෙන්නේ විධිමත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව, අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් ලබා ගත් විශේෂ අනුමැතීන් මත ඇතැම් ගල් අඟුරු තොග ඇණවුම් කර ඇති බවය.

මිල සූත්‍රයේ පවතින අක්‍රමිකතා: ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සැපයුම්කරුවන් තෝරා ගැනීමේදී, ලෝක වෙළඳපොළේ පවතින දර්ශක (Indices) නිසි ලෙස ගණනය නොකිරීම නිසා රජයට රුපියල් මිලියන ගණනක අමතර පිරිවැයක් දැරීමට සිදුවූ බව විගණන දත්ත මගින් තහවුරු කර ඇත.

අන්තර්කාලීන මිලදී ගැනීම් (Spot Purchases) හරහා සිදුවූ අලාභය –විගණන වාර්තාවේ 3.2 වගන්තිය යටතේ පෙන්වා දී ඇත්තේ, දිගුකාලීන ටෙන්ඩර් නිසි කලට ක්‍රියාත්මක නොකර, “හදිසි මිලදී ගැනීම්” ලෙස දක්වමින් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ගල් අඟුරු ලබා ගැනීම මගින් මහා පරිමාණ මූල්‍ය අලාභයක් සිදුවූ බවය.

2009-2015 කාලය තුළ සිදුවූ ගනුදෙනු 28ක් පමණ විමර්ශනය කළ විගණනය හෙළි කළේ, ඉන් බොහෝමයක් විනිවිදභාවයකින් තොරව සහ අභ්‍යන්තර කමිටුවල සෘජු අනුමැතියකින් තොරව සිදුව ඇති බවය.

ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව තෝරාගත් සැපයුම්කරුවන්ටම ප්‍රවාහන පහසුකම් (Freight) සැපයීමට ද අවස්ථාව ලබා දීම හරහා නියමිත මිලට වඩා වැඩි මිලක් ගෙවීමට සිදු වූ බව විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මේ අනුව  විගණන වාර්තාව මගින් සත්‍යාපනය කරන ලද, ටෙන්ඩර් පටිපාටියේ දෝෂ සහිත ප්‍රදානයන් මෙසේය:

  • ටෙන්ඩර් නිදහස් කිරීම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින්  සැපයුම් ප්‍රදානය කර තිබේ.
  • ලංසු ඇගයීම තාක්ෂණිකව සුදුසුකම් නොලැබූ සමාගම් වෙත ‘සීමිත ලංසු’ ක්‍රමය යටතේ අවස්ථාව ලබා දීම මෙම වකවානුවේ දී රාජපක්ෂ රජය සිදුකර තිබිණි.
  • මිල තීරණය කිරීම වෙළඳපොළ තරඟකාරීත්වය නොමැති වීම නිසා නියමිත පිරිවැයට වඩා 10% – 15% අතර වැඩි මිලක් ගෙවීමට අවසානයේ දී රටට සිදුවිය.

මෙම විගණන දත්ත අවධාරණය කරනු ලැබුවේ රාජපක්ෂ පාලන සමයේ මුල් භාගයේ සිටම ගල් අඟුරු ප්‍රසම්පාදනය තුළ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කටයුතු කිරීමේ ක්‍රමවේදයක් පැවති බවය.

  • රුපියල් බිලියන 500ක ටෙන්ඩරයේ අර්බුදය (2022 – 2025)

  • coal

දෙවන විශේෂ විගණන වාර්තාව 2022 වර්ෂයේදී නිකුත් කෙරිනි.  එය 2022-2025 කාල සීමාවට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විමර්ශනයට ලක් කළේය.  2022 වර්ෂයේ සිට 2025 කාල පරිච්ඡේදය දක්වා බලපැවැත්වෙන පරිදි සිදු කළ රුපියල් බිලියන 500ක ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශ්‍රී ලංකා බලශක්ති ඉතිහාසයේ වාර්තා වූ වඩාත්ම මතභේදාත්මක සහ සැකසහිත ගනුදෙනුවක් ලෙස විගණන වාර්තා මගින් හඳුනාගෙන තිබේ.

එම අර්බුදයේ ප්‍රධාන කරුණු සත්‍යාපිත දත්ත ඇසුරින් පහත පරිදි විස්තර කළ හැකිය:

ලියාපදිංචි නොවූ සමාගමකට ටෙන්ඩරය පිරිනැමීම- මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින බරපතලම ගැටලුව ලෙස විගණනය පෙන්වා දී ඇත්තේ, ලංකා ගල් අඟුරු සමාගමේ සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි වී නොසිටි Black Sand Commodities නම් සමාගම වෙත මෙම දැවැන්ත කොන්ත්‍රාත්තුව පිරිනැමීමය. සාමාන්‍යයෙන් මෙවැනි මහා පරිමාණ ටෙන්ඩර් සඳහා අයදුම් කළ හැක්කේ පූර්ව ලියාපදිංචියක් සහිත, මූල්‍යමය හා තාක්ෂණික ශක්තිය තහවුරු කළ සමාගම්වලට පමණක් වුවද, එම රීතිය මෙම ගනුදෙනුවේදී මුළුමනින්ම උල්ලංඝනය වී ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අසාමාන්‍ය ලෙස කෙටි කාලයක් තුළ තීරණ ගැනීම –  රුපියල් බිලියන 500ක (එවකට පැවති විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලර් බිලියන 1.5කට ආසන්න) වටිනාකමකින් යුත් ජාතික වැදගත්කමක් සහිත ටෙන්ඩරයක් ඇගයීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා නොදීම මෙහි ඇති අනෙක් විශේෂත්වයය. සාමාන්‍යයෙන් මාස කිහිපයක් ගතවන මෙවැනි ප්‍රසම්පාදන ක්‍රියාවලියක්, දින 35ක් වැනි අතිශය කෙටි කාලයක් තුළ අවසන් කර අදාළ සමාගම තෝරා ගැනීමට තාක්ෂණික ඇගයීම් කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව කටයුතු කර තිබිණි. මෙම හදිසි තීරණය පිටුපස කිසියම් අදෘශ්‍යමාන බලපෑමක් පවතින බවට විගණන වාර්තාව සැක පල කළේය.

කාර්යක්ෂමතාවය සහ විනිවිදභාවය ගිලිහී යාම – විගණන වාර්තාවට අනුව, මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී රජයට උපරිම වාසියක් අත්වන පරිදි තරඟකාරී මිල ගණන් කැඳවීමට බලධාරීන් අපොහොසත් වී ඇත. විශේෂයෙන්ම තෝරාගත් සමාගම විසින් ඉදිරිපත් කළ මිල දර්ශක සහ ප්‍රවාහන ගාස්තු (Freight rates) වෙළඳපොළේ පවතින සාමාන්‍ය අගයන්ට වඩා බෙහෙවින් වැඩි බව පෙනී ගොස් තිබේ. ප්‍රසම්පාදන කමිටුව විසින් නිසි පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයක් සිදු නොකිරීම හේතුවෙන් බිලියන ගණනක අමතර පිරිවැයක් මහජනතාව මත පැටවී ඇති බව විගණන දත්ත මගින් සත්‍යාපනය වේ.

සැපයුම් අස්ථාවරත්වය සහ මූල්‍ය අවදානම – Black Sand Commodities නැමැති  සමාගමක්  සමඟ ඇති කරගත් මෙම මතභේදාත්මක ගිවිසුම නිසා 2022-2025 කාල සීමාව තුළ ගල් අඟුරු සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ දැඩි අවදානමක් මතු විය. සමාගම සතු මූල්‍ය ශක්තිය පිළිබඳව ප්‍රමාණවත් සොයා බැලීමක් නොකිරීම සහ නියමිත කාලයට ගල් අඟුරු නෞකා ශ්‍රී ලංකාවට ළඟා නොවීම හේතුවෙන් විදුලි උත්පාදනයට පවා බාධා එල්ල වූ අවස්ථා වාර්තා විය. මෙම අසාර්ථක ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසානයේදී රටේ බලශක්ති පද්ධතිය අර්බුදයකට ඇද දැමීමට මෙන්ම විදුලි ගාස්තු ඉහළ දැමීමට ද වක්‍රව බලපා ඇති බව විගණන නිරීක්ෂණ මගින් තහවුරු කෙරේ.

  • ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නිසා සිදුවූ මිලියන 2,237ක අලාභය (2025/26

මෑතකදී නිකුත් කරන ලද තෙවන විගණන වාර්තාව මගින් 2025/2026 වාරය සඳහා සිදුකරන ප්‍රසම්පාදනයන් සහ මෑතකාලීන ගනුදෙනු විමර්ශනය කර ඇත. ආනයනය කරන ලද ගල් අඟුරු නිසි ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් රජයට සිදුව ඇති මුළු අලාභය රුපියල් මිලියන 2,237.7ක් බව ගණනය කර තිබේ.

 ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සහ ලියාපදිංචියේ දෝෂ –  ගල්අඟුරු සැපයීම සඳහා වන ටෙන්ඩර් කැඳවීමේ දැන්වීම් ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විටත්, අදාළ ටෙන්ඩරය හිමි කරගත් ට්‍රයිඩන්ට් (Trident) සමාගම සිය ලියාපදිංචි කටයුතු සම්පූර්ණ කර නොතිබූ බව විගණන වාර්තාව අනාවරණය කරයි. ටෙන්ඩර් කොන්දේසි ප්‍රකාරව ලියාපදිංචි සැපයුම්කරුවන්ට පමණක් ලංසු ඉදිරිපත් කිරීමට අවසර තිබියදීත්, ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන් තිදෙනෙකුට අවස්ථාව ලබා දී තිබේ. මීට අමතරව, හදිසි මිලදී ගැනීම් යටතේ තේරී පත් වූ ටරන්ජොට් රිසෝසස් (Taranjot Resource) පුද්ගලික සමාගම, මීට පෙර අවස්ථාවලදී බලාගාරයට අවශ්‍ය අවම තාප ඒකක (GCV 5900 kcal) සහිත ගල්අඟුරු සැපයීමට අපොහොසත් වූ ආයතනයක් බව ද විගණනයේදී හෙළි වී ඇත.

ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ අක්‍රමිකතා සහ පිළිගත් සහතික නොමැති වීම – ගල්අඟුරු පටවනු ලබන වරායේදී (Port of Loading) තත්ත්ව පරීක්ෂණ වාර්තා නිකුත් කරන ලද ඉන්දුනීසියානු රසායනාගාරයේ (PT Mitra SK Analisa Testama Samarinda) බලපත්‍රය 2025 දෙසැම්බර් 29 වන දින අවලංගු කර තිබියදීත්, එම ආයතනය හරහා පරීක්ෂණ වාර්තා ලබාගෙන ඇත. 2026 මාර්තු 31 වන දින වන විටත් එම බලපත්‍රය අලුත් කර ඇති බවට සාක්ෂි නොමැති අතර, අදාළ සමාගම විසින් මෙරටට එවූ සියලුම නැව් වාර 12 කට අදාළ වාර්තා පිළිගත් ප්‍රමිතියෙන් තොර ඒවා බව විගණනය පෙන්වා දෙයි. මෙම රසායනාගාර වාර්තා සහ බලාගාරයේ ප්‍රධාන පාලන ඒකකයේ දත්ත අතර පරස්පරතා පැවතියද, විකල්ප සත්‍යාපන ක්‍රමවේද භාවිතා කිරීමට ලංකා ගල්අඟුරු සමාගම පියවර ගෙන නොමැත.

මූල්‍ය හානිය සහ මෙහෙයුම් දුර්වලතා – ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු පරිභෝජනය කිරීම හේතුවෙන් 2025/26 වාරය තුළ රුපියල් මිලියන 2,237.7 ක අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බව විගණනය ඇස්තමේන්තු කර තිබේ. විශේෂයෙන් ගල්අඟුරු ගොඩබෑමට ඉතාමත් හිතකර කාලගුණය පවතින 2025 නොවැම්බර් 13 සිට දෙසැම්බර් 30 දක්වා වූ දින 40 ක කාලය තුළ කිසිදු ගල්අඟුරු නැවක් ගෙන්වා ගැනීමට අපොහොසත් වීම නිසා මෙරට ගල්අඟුරු තොග අවසන් වීමේ අවදානමක් මතු වී ඇත. මෙම හිඟය පියවා ගැනීම සඳහා මාර්තු 18 වන දින සිදු කරන ලද හදිසි මිලදී ගැනීම් හේතුවෙන් රජයට විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇති අතර, බලාගාරයේ විදුලි ජනන ධාරිතාව මෙගාවොට් 300 සිට 270 දක්වා හෝ ඊට වඩා අඩු මට්ටමකට පහත වැටී ඇති බව ද වාර්තාව සඳහන් කරයි.

දැන් වත්මන් රජය බිහිසුණු අර්බුදයකට මැදි වී තිබේ.  රජය පවසන්නේ  “නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදය” අනුගමනය  කළ බවය. දැන් ගැටලුව එන්නේ එසේ කළා නම්  ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සඳහා මිලියන ගණනක අලාභයක් වීමට ඇති ඉඩකඩ කුමක් ද යන්නය.

කොමිසමේ පරීක්ෂණ මගින් හෙළි විය යුත්තේ මෙය රජයේ ඉහළ පෙළේ මැදිහත්වීමකින් සිදු වූවක් ද, නැතිනම් පද්ධතිය තුළ සිටින දූෂිත නිලධාරීන් විසින් රජය අපහසුතාවයට පත් කිරීම සඳහා කළ ක්‍රියාවක් ද යන්නය. රජයකට මෙවැනි  බිඳවැටීමක දී පාලනයේ  වගකීමෙන් මිදෙන්නට ක්‍රමයක් නැත. කසේ වෙතත්  සත්‍යාපිත දත්ත මත පදනම්ව වත්මන් රජය මෙම දූෂණයට “ඍජුවම සම්බන්ධ බව” නිගමනය කිරීමට තවමත් ප්‍රමාණවත් සාක්ෂි නොමැත.

දැන් අප විමසිය යුත්තේ වත්මන් ගල් අඟුරු අර්බුදය ගැන කතා කරන්නට කිරි දියෙන් නා පැමිණි මිනිස්සුන්ගේ පැටිකිරිය කුමක් ද යන්නය.

අජිත් පී පෙරේරා ගැන කතාවක්

තමන් නියෝජ්‍ය විදුලි බල ඇමතිවරයා ලෙස සිටි බවත් තමන්ගේ කාලයේ ගල් අඟුරු සම්බන්ධව කිසිම වංචාවක් නොවූ බවත් අජිත් පී පෙරේරා අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවේ දී කීවේය. මේ ගල් අඟුරු අර්බුදය ගැන විපක්ෂයේ ප්‍රධාන කථිකයා ලෙස කිරිදියෙන් නා පැමිණියාක් සේ කතා කරන අජිත් පී පෙරේරා යනු මේ ගල් අඟුරු ව්‍යසනකාරී අර්බුදයේ නිර්මාපකයෙකි.

ඔහු විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2015-2019 “යහපාලන” පාලන සමයට අදාළවය. අප මුලින්ම දැක්වූ  පළමු විගණන වාර්තාවේ (2016) අන්තර්ගතයට ඔහු  සෘජුවම සම්බන්ධ දේශපාලකයෙකි.

අප ඉහත සාකච්ඡා කළ  2016 විශේෂ විගණන වාර්තාව මගින් විමර්ශනය කර ඇත්තේ 2009 වසරේ සිට 2016 ජූනි දක්වා කාලය ය. මෙහිදී 2015 ජනවාරි සිට 2016 ජූනි දක්වා වූ කාලය අජිත් පී. පෙරේරා   නියෝජ්‍ය අමාත්‍ය ධුරය හෙබවූ යහපාලන ආණ්ඩුවේ මුල් වකවානුවය. එම වාර්තාව මගින් අනාවරණය කළ රුපියල් මිලියන 4,145.43ක අලාභය යහ  පාලන සමයට අදාළ ගනුදෙනු ද ඇතුළත් ය.

 2015 සැප්තැම්බර් මාසයේදී, එනම් අජිත් පී. පෙරේරා  නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටියදී ස්විස් සිංගප්පූරු (Swiss Singapore) සමාගමට ගල් අඟුරු ටෙන්ඩරය ලබා දීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති විය. පසුව ශ්‍රේෂ්ඨාධිකරණය පවා තීන්දු කළේ එම ටෙන්ඩරය පිරිනැමීමේ ක්‍රියාවලිය “නීතියට පටහැනි” (Vitiated in law) බවය.

2016 විගණන වාර්තාව සකස් කිරීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ද මෙම මතභේදාත්මක ටෙන්ඩර් ක්‍රියාවලියයි.  තමන්ගේ වකවානුවේ කිසිම ගල් අඟුරු වංචාවක් නොවූ බවට විලි ලජ්ජා නැතිව බොරු කියන්නේ එහෙව් අජිත් පී පෙරේරාය.

පාඨලී චම්පික රණවක ශාන්තුවර අදූෂිතයෙක් ද?

චම්පික රණවක  විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2010 – 2012 සහ 2015 යන කාල වකවානුවල සිදුවූ ඇතැම් තීරණ 2016 විගණන පරීක්ෂණයට ලක් වූයේය.

2015 වසරේ යහපාලන රජයේ විදුලිබල අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කළ සමයේ ‘ස්විස් සිංගප්පූරු’ සමාගමට ගල් අඟුරු ටෙන්ඩරය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනාවක් එල්ල වී තිබිණි. 2016 විගණන වාර්තාව මගින් පෙන්වා දුන් පරිදි, අවම මිලක් ඉදිරිපත් කළ ලංසුකරුවන් සිටියදී මෙම සමාගම තෝරා ගැනීම නිසා රජයට රුපියල් මිලියන ගණනක අලාභයක් සිදු වූ බවය. පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ටෙන්ඩරය අවලංගු කළ අතර, එය ‘නීතියට පටහැනි’ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම රාජපක්ෂ පාලන සමයේ (2010-2012) චම්පික රණවක අමාත්‍යවරයා ලෙස සිටියදී, ‘නොබෙල්’ සමාගම සමඟ ඇති කරගත් ගිවිසුම් සම්බන්ධයෙන් ද විගණන අවධානය යොමු විය. ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඇතැම් ඇණවුම් ලබා දීම සහ අතිරේක ගෙවීම් සම්බන්ධයෙන් එවකට විගණන නිරීක්ෂණ මතු විය.

විගණන වාර්තා පෙන්වා දෙන්නේ විධිමත් ප්‍රසම්පාදන පද්ධතියෙන් බැහැරව ‘හදිසි අවශ්‍යතා’ මත පදනම්ව කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර මිලදී ගැනීම් සිදු කිරීමට චම්පික රණවක  කටයුතු කළ බවයි.

තවද ගල් අඟුරු ප්‍රවාහන ගාස්තු (Freight rates) ගණනය කිරීමේදී රජයට අවාසිදායක සහ සැපයුම්කරුවන්ට වාසිදායක වන පරිදි මිල සූත්‍ර ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම පිළිබඳව ඔහුට චෝදනා එල්ල වූයේය. 2016 විගණනය හෙළි කළ අන්දමට  රුපියල් මිලියන 4,145ක අලාභයට බලපා ඇත්තේ මේ බලශක්ති ඇමති පාඨලී චම්පික රණවකගේ තීරණයන්ය.

එමෙන්ම  ඔහුගේ අමාත්‍ය ධූරය යටතේ   ද ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සහ ඒ පිළිබඳව නිසි විද්‍යාත්මක පරීක්ෂණ සිදු නොකිරීම හරහා බලාගාරයේ යන්ත්‍ර සූත්‍රවලට හානි වීමේ අවදානමක් ඇති වූ බව විගණන නිරීක්ෂණවල සඳහන් වුනේය.

කෙසේ වෙතත්, මෙම චෝදනාවලට පිළිතුරු දෙමින් චම්පික රණවක  නිරන්තරයෙන් ප්‍රකාශ කරන්නේ තමන් කටයුතු කළේ තාක්ෂණික කමිටු සහ විද්වත් මණ්ඩලවල නිර්දේශ මත බවය. ‘ස්විස් සිංගප්පූරු’ ගනුදෙනුවේදී තමන් එම ගොනුවට අත්සන් තැබුවේ නිලධාරීන්ගේ නිර්දේශ මත මිස තනි කැමැත්තට නොවන බව ඔහු කීවේය.

එසේ කියන ඔහු වත්මන් බලශක්ති ඇමතිවරයාට චෝදනා  කරන්නේ ඔහු මැදිහත්ව දූෂණයක් සිදුකළ බවටය. එක්කෝ ඔහු තමන් මුහුණ දී ඇතැයි කියන සැබෑ තත්ත්වය නොසලකා දේශපාලන වාසියක් වෙනුවෙන් කතා කරන්නේය. නැතිනම් ඇත්තටම ඔහු මේ දූෂණයේ ඍජු සම්බන්ධතාවයක් සහිතව සිටින නිසා පුණ්‍යකුමාර ජයකොඩි දූෂිතයෙක් බව විශ්වාස කරන්නේය.

අවසානයේ දී දත්ත මත පදනම්ව කතා කරනවා නම්  සත්‍යාපිතව කිව හැක්කේ පාඨලී චම්පික රණවක යනු ගල් අඟුරු දූෂණය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා පෙන්වා දුන් වගකිවයුතු “දේශපාලන අධිකාරියේ” ප්‍රධාන සාධකයක් බවය. ඔහු අද වත්මන් රජයට එරෙහිව මරාගෙන මැරෙන ස්වරූපයෙන් චෝදනා නැගුව ද, විගණන වාර්තා ඉතිහාසය පෙන්වා දෙන්නේ ඔහු ද එම දූෂිත පද්ධතියේම කොටස්කරුවෙකු ලෙස විවිධ අවධීන් වලදී කටයුතු කර ඇති බවය.

කුමාර ජයකොඩි හොරෙක් ද?

අමාත්‍යවරයා වරදකරුවෙකු බවට ස්ථිර කෙරෙන සත්‍යාපිත දත්ත පද්ධතියක්  මෙතෙක් අනාවරණය වී නැත. දැනට පවතින්නේ විගණන වාර්තා මගින් පෙන්වා දුන් පරිපාලනමය දුර්වලතා සහ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු සහගත තැන් කිහිපයකි. විශේෂයෙන්ම, 2026 පෙබරවාරි 25 දින නිකුත් වූ ගල්අඟුරු ටෙන්ඩරයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතුවූ තාක්ෂණික ගැටලු මෙහිදී ප්‍රධාන වේ. ඔහුට එල්ල වන තර්කනය ගොඩනැගෙන්නේ “අමාත්‍යවරයා ලෙස ඔහුට පැවරී ඇති වගකීම” (Ministerial Responsibility) මත මිස, ඔහු සෘජුව මුදල් ලබාගත් බවට වන සත්‍යාපිත සාක්ෂියක් මත නොවේ.

ඇමතිවරයා   චේතනාන්විතව දූෂණයකට සම්බන්ධ වූවාද යන තර්කය දැන් දේශපාලන පාර්ශව මතු කරමින් ඇත.  එය තීරණය කරන්නේ කරුණු දෙකක් මතය:

  •  ටෙන්ඩර් පටිපාටියේදී තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ නොසලකා හරිමින් කිසියම් සමාගමකට වාසි සහගත ලෙස තීරණ ගෙන තිබේ නම්, එය “චේතනාන්විත” මැදිහත්වීමකි.
  • දීර්ඝ කාලයක සිට පවතින “ගල්අඟුරු මාෆියාව” පාලනය කිරීමට පියවර නොගැනීම හෝ එම ක්‍රියාවලියටම අනුගත වීම හරහා දූෂණයට අනුබල දුන් බවට තර්කයක් ගොඩනැගිය හැකිය.

මේ වනවිට පුණ්‍ය කුමාර ජයකොඩි සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත.  ඔහු සිය  ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන්  කරන්නේ ඉදිරිපත් වී ඇති චෝදනා  සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට “ඉඩ ලබා දීමට” මිස වරද පිළිගැනීමට නොවේ.

අනෙක් අතට  අද දින පත් කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ මූලික අරමුණ වන්නේම, මෙම දූෂණය සිදුවූයේ දේශපාලන අධිකාරියේ “චේතනාන්විත මැදිහත්වීමකින්ද” නැතහොත් “පරිපාලනමය අකාර්යක්ෂමතාවයකින්ද” යන්න වෙන්කර හඳුනා ගැනීමය.

ශ්‍රී ලංකාවේ නීතිමය රාමුව තුළ යමෙකු “චේතනාන්විතව දූෂණයට සම්බන්ධ බව” ප්‍රකාශ කළ හැක්කේ එවැනි ස්වාධීන කොමිසමක වාර්තාවකින් හෝ අධිකරණ තීන්දුවකින් පසුව පමණි. එබැවින්  මෙම විමර්ශන අවසන් වන තෙක් මේ පිළිබඳව සෑම පාර්ශවකයටම  එල්ල වන චෝදනා  පවතින්නේ  “සැකයන්” සහ “දේශපාලන විවේචන” මට්ටමේ  පමණය.

කෙසේ වෙතත් රජයේ පාරිශුද්ධත්වය දැන් ඇත්තේ ලිට්මස් පරීක්ෂණයකට ලක්වය. එළි දැක ඇති විගණන වාර්තාව  රජය ඉදිරියේ බරපතල ප්‍රශ්න කිරීමක් කරයි. මක් නිසාද යත්  විගණන වාර්තාවක්   යනු දේශපාලන ප්‍රකාශයක් නොව කරුණු මත පදනම් වූ ලේඛනයක් බැවිනි. එමගින් වත්මන් සමයේ අලාභය පෙන්වා දීම රජයට එරෙහිව නැගෙන බරපතලම තාක්ෂණික ප්‍රශ්න කිරීමය.

කිව යුත්තේ මේ විශේෂ ජනාධිපති    කොමිසම හරහා වර්තමානයේ සිදු වූ අලාභයට වගකිවයුත්තන්ට ද දඬුවම් දීමට රජය සමත් වුවහොත් පමණක් ඔවුන්ගේ “පාරිශුද්ධ පාලනය” පිළිබඳ තර්කය තහවුරු වනු ඇති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපක්ෂපාතී විමර්ශනයකට ඉඩ සලසා බලශක්ති අමාත්‍යවරයා සහ ලේකම්වරයා ඉල්ලා අස්වෙති!

Next Post

 ලෝක සාමය පතා කෙරෙන ජාත්‍යන්තර “සාම පාගමන” සඳහා මුල්ම භික්ෂු කණ්ඩායම රටට වැඩමවති!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.