තුෂාරී කළුබෝවිල
-
මගෙ කැබ් රථය දුවන්නෙ ගෙදර හදපු ඩීසල්වලින්… ට්‍රැක්ටරයත් එහෙමයි…
-
එඬරු ඇට කිලෝ එකකින් ඉන්ධන ලීටරයක් හදා ගත හැකියි…
-
කාන්තාරවලත් හැදෙන එඬරු රේල් පාර දෙපැත්තෙ හිටෙව්ව නම් කෝච්චි ටික දුවාගන්න තිබුණා…
-
ඉන්දියාවෙ වගේම අප්‍රිකාවෙත් මේ ඩීසල් භාවිතා වෙනවා…
මේ දිනවල අපේ රට මුහුණ පා සිටින ඉන්ධන ගැටලුවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා විසඳුම් සොයාගෙන තිබුණේ මීට වසර පහළොවකට පමණ පෙරදී ය. ඒ පිළිබඳ ව මාධ්‍ය හරහා සිදු කරන ලද ප්‍රචාරයන් අලුයම ලූ කෙල පිඬක් සේ ඉවත දමමින් කොමිස් මුදලට රට පාවා දෙන්නන් පිටරටින් තෙල් ගෙන්නන්නට ඩොලර් සොයන බව වෛද්‍ය දුලාන් සමරවීර කියන්නේය.
තමා මේ පිළිබඳ සොයා ගත් මුල් කාලයේදී ම එඬරු වවන්නට පටන් ගත්තේ නම් වර්තමාන තෙල් අර්බුදයට කිසිදු ගැටලුවකින් තොර ව මුහුණ දෙන්නට ශ්‍රී ලංකාවට හැකිව තිබූ බව ද ඔහු කීවේ ය. අප්‍රිකාවේ කාන්තාරවල ද ඉතා හොඳින් වැවෙන එඬරු ශාක ශ්‍රී ලංකාවේ ඕනෑ ම දේශගුණික කලාපයක කිසිදු පොහොර භාවිතයකින් ද තොර ව සරුවට වැඩේ.
“සාමාන්‍යයෙන් එක එඬරු ගහකින් ගෝනියක් විතර එඬරු ඇට ගන්න පුළුවන්. ඒ කියන්නේ කිලෝ විසි පහක් විතර ගත හැකියි. එඬරු ඇට කිලෝ එකකින් ඩීසල් ලීටරයක් පමණ නිපදවා ගත හැකියි. ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග දෙපස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් බිම් තීරුවල එඬරු වැව්වොත් ඒ ඇටවලින් ගන්නා ඩීසල් ලංකාවේ දුම්රිය ධාවනයට ප්‍රමාණවත් වෙනවා.
සාමාන්‍යයෙන් පොල්තෙල් හිඳින්න භාවිත කරන යන්ත්‍රයක් මගින් එඬරු ඇට අඹරා තෙල් ලබාගත හැකියි. එඬරු තෙල් එක් ලීටරයක් නිෂ්පාදනට වැය වන්නේ රුපියල් 70ක් වැනි පමණයි. දැනට පවතින ඩීසල් වාහනවලට මෙය භාවිත කළ හැකියි. කිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ.
මගේ කෘෂිකර්මාන්ත වැඩවලට යොදා ගන්න ටැක්ටරයටත්, මගේ කැබ් රථයටත් මම දැනටමත් යොදා ගන්නේ මා විසින් ම එඬරු ඇටවලින් සාදා ගනු ලබන මෙම ඩීසල්මයි. මෙම ඩීසල්වල ලිහිසි ගතිය වැඩියි. ඒ නිසා වාහනයේ මෝටරයට එය ඉතා හිතකරයි.
සාමාන්‍ය ඩීසල්වලට එම ලිහිසි ගතිය ගැනීම සඳහා සල්ෆර් මුසු කරනවා. සල්ෆර් දහනයේදී පරිසරයට සල්ෆර් ඩයොක්සයිඩ් එකතුවීමෙන් වායු දූෂණයක් සිදු වෙනවා. මෙම ජෛව කාබනික ඩීසල්වලට සල්ෆර් එකතු කරන්නේ නැහැ.
ජෛව කාබනික ඩීසල් දහනයෙන් කාබන්ඩයොක්සයිඩ් පරිසරයට මුදා හැරීම සියයට 30කින් ද කාබන් මොනොක්සයිඩ් ඩිමෝචනය සියයට 50කින් ද අඩු වීමෙන් විශාල පරිසර ආරක්ෂණයක් සිදු වෙනවා.
ඒ වගේ ම පැට්‍රෝලියම් ඩීසල් භාවිතය නිසා වාහනයේ ඇන්ජිම රත්වීම, දෙදරීම, කාබන් බැඳීම මෙම ජෛව කාබනික ඩීසල් භාවිතයෙන් සිදු වන්නේ නැහැ. අවාසියකට තියෙන්නේ වායුගෝලයේ උෂ්ණත්වය ඍණ දෙකට වඩා අඩු වෙනවා නම් මෙම ජෛව කාබනික ඩීසල් පොල්තෙල් මිදෙන්නා සේ මිදෙනවා. නමුත් ශ්‍රී ලංකාව එවැනි පහළ උෂ්ණත්වයකට පත් නොවන නිසා මෙම ජෛව කාබනික ඩීසල් ලංකාවේ ඕනෑ ම ප්‍රදේශයකට ගැලපෙනවා.
දැනටමත් ඇමරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව සහ අප්‍රිකාව වැනි රටවල් මීට වසර ගණනාවකට පෙර සිට ම ජෛව කාබනික ඩීසල් නිෂ්පාදනය කර භාවිත කරනවා.”
ජෛව කාබනික ඩීසල් ශ්‍රී ලංකාවේ නිපදවීමෙන් ඒ ආශ්‍රිත රැකියා අවස්ථා උදා වන්නා සේ ම දේශීය නිෂ්පාදනයක් වීම නිසා ආර්ථික ඉතිරියක් ද සිදු වනු ඇත.