ඉඳුනිල් කහටපිටිය –
මේ මොහොතේත් ඊශ්‍රයාලය ගාසා ප්‍රහාර එල්ල කරමිනි. පසුගිය ඔක්තොම්බර 07 වැනිදා හමාස් කැරළිකරුවන් විසින් ඊශ්‍රයාලයට එල්ල කළ ප්‍රහාරය අතිශයින්ම තුච්ඡ බව සැබෑය. එහෙත් මේ මොහොත වනවිට ඇමරිකාව ඇතුළු බටහිර ජාතීන්ගේ නිශ්ඡිත අවශ්‍යතාවන් මත ගාසා තීරයේ අසරණ පලස්තීන වැසියෝ වද විඳ මැරෙන්නට සලස්වා සිටිති.
මානව හිමිකම්හි අහවල් එක ගැන කතා කරමින් ලෝක දේශපාලන යාන්ත්‍රණයට බලපෑම් කරන අතරම තමන්ගේ දේශපාලන අවශ්‍යතා මත තවත් ජන කොට්ඨාසයක් විඳවා මරා දැමීමට හැකි තරම් තුච්ඡ මනෝභාවයන් සහිත වියරු මිනිසුන් අත ලෝක දේශපාලනය හැසිරෙන්නේය. අපට සහතික කර කිව හැක්කේ ශික්ෂිත මනුෂ්‍ය ශිෂ්ඨාචාරය යනු පට්ට කෙබරයක් බවය. තවමත් ලෝකය පාලනය කරමින් හැසිරෙන්නේ මිනිසාගේ අභ්‍යන්තරික තිරිසනාය.
අවතැන් වීම
ගාසා තීරයේ මිලිය 2.3ක් ජනතාවක් ජීවත් වූහ. එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියට (UNRWA) අනුව ඉන් මිලියන 1.7 කට වැඩි ජනතාවක් මේ වනවිට අවතැන්ව සිටිති. එය ගාසා තීරයේ ජනගහනයෙන් 75% කි. දිවි රැක ගැනීම සඳහා ඔවුන්ට නැවත නැවතත් තැනින් තැනට මාරු වීම සඳහා බල කෙරමින් ඇත. එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය පවසන්නේ නොනවතින සතුරුකම් සහ නිතා පතා සිදුවන ඉවත්කිරිමේ නියෝග නිසා වඩාත් නිවැරදි සංඛ්‍යාලේඛන ලබා ගැනීම දුෂ්කර බවය.
3 in 4 people in #Gaza are internally displaced. These are the conditions they live in. #CeasefireNOW pic.twitter.com/vKUiGYCJhP
— Tedros Adhanom Ghebreyesus (@DrTedros) January 19, 2024
ඊජිප්තුව මායිමේ ඇති දකුණු නගරයවන රාෆා දැනටමත් ජනාකීර්ණ ප්‍රදේශයක් වී ඇත. එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ ප්‍රධානී පිලිපේ ලසාරිනි ( Philippe Lazzarini) ට අනුව දැන් මේ නගරයේ ජනගහණය මිලියන 1.2කි. එනම් ගැටුම ආරම්භයට පෙර සිටි ජනගහණ ධාරිතාව මෙන් සිවු ගුණයකි.
නගරය බෝවන රෝග ව්‍යාප්ත වීමේ බිහිසුණු අවදානමකය. සොබා දහමේ මූලික බලපෑම් සිද්ධවන අවු, වැසි, සුළං, මෙන්ම සීත කාලගුණික තත්තව සඳහා විකල්ප නොසපයන තාවකාලික කූඩාරම්වල සහ ප්ලාස්ටීක් තහඩු යට දස දහස් ගණනක් ජීවත් වෙමින් සිටිති. ඒ අවට පරිසර බෝවන රෝග සඳහා වූ සෑම අවදානමක්ම සහිතය.
සෞඛ්‍ය සහ රෝහල්
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ප්‍රදේශයේ රෝහල් 36 න් බොහොමයක් ඇත්තේ අක්‍රීයව ය. 15 ක් පමණක් අර්ධ වශයෙන් ක්‍රියාත්මක වෙමින් ඇත. රෝහල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන හෝ වෛද්‍ය සැපයුම් නොවේ. නමුත් ඒවායේ ධාරිතාව මෙන් තුන් ගුණයක් රෝගීන් දැරීමට එම රෝහල්වලට සිදුවී තිබේ.
ගාසා තීරයේ ක්‍රියාකාරී රසායනාගාර නොමැත. මේ තත්ත්වය තුල රෝගීන් හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට ඇති හැකියාව දැඩි ලෙස සීමා වී තිබේ.
මේ සියලුම තත්ත්වයන් තුළ බෝවන රෝග ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. ගාසා හි ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත රිචාඩ් පීපර්කොන් (Richard Peeperkorn ) පවසන්නේ වයස අවුරුදු පහට අඩු ළමුන් අතර පාචනය රෝගීන් සංඛ්‍යාව පෙර වසරේ සාමාන්‍යයට සාපේක්ෂව 2023 නොවැම්බර් මාසයේදී 20 ගුණයකින් වැඩිවුන බවය.
දූෂිත ආහාර සහ ජලය හරහා සම්ප්‍රේෂණවිය හැකි බෝවන අක්මා ආසාදනයක් වන හෙපටයිටිස් ඒ මෙම කඳවුරු ආශ්‍රිතව හඳුනාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනොම් ගේබ්‍රියේසස් (Tedros Adhanom Ghebreyesus) බ්‍රහස්පතින්දා X හි ලිව්වේ මේ මිනිසුන් ගතකරමින් ඇත්තේ මනුෂ්‍යයන්ට නුසුදුසු ජීවිතයක් බවය.
අපිරිසිදු ජලය, අපිරිසිදු වැසිකිලි සහ වටපිටාව පිරිසිදුව තබා ගැනීමට ඇති නොහැකියාව හෙපටයිටිස් A තව දුරටත් පැතිරීමට ඉඩ සලසන බව ඔහු පෙන්වා දෙන්නේය.
“රෝග පැතිරීම සඳහා පරිසරය පුපුරන සුලු අනතුරුදායක තත්ත්වයක් මතු කිරීමේ අවදානමකය.” අධ්‍යක්ෂ ජනරාල්වරයා ලියා තබයි.
Cases of #HepatitisA, an inflammation of the liver, have been confirmed in #Gaza via test kits supplied by @WHO.
Hepatitis A is usually mild but can occasionally cause severe disease. 24 cases are confirmed and no deaths have been reported so far. There are several thousand…
— Tedros Adhanom Ghebreyesus (@DrTedros) January 18, 2024
ආහාර, ජලය, ආධාර
යුද්ධය ආරම්භයේදී ඊශ්‍රායලය ගාසා තීරය වෙත ආහාර, ඖෂධ, බලශක්තිය සහ ඉන්ධන ආනයනය කිරීම නතර කළේය.
නමුත් පසුව සමහර හරස් මාර්ග හරහා එම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට ඉඩ දුන්නේය. එහෙත් සහන නිලධාරීන් පවසන්නේ ආරක්‍ෂක පරීක්‍ෂණ, සටන් සහ යුද කලාපයක් හරහා ගමන් කිරීමේ දුෂ්කරතා මෙහෙයුම්වලට දැඩි බාධාවක් එල්ල කරන බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ගාසා තීරයට ඇතුළු වන ආහාර ප්‍රමාණය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය ප්‍රමාණයෙන් සුළු කොටසක් පමණක් බවය. පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජාතීන්ගේ වාර්තාවක් පෙන්වා දෙන්නේ සමස්ත ජනගහනයම සාගින්නෙන් අර්බුදකාරී මට්ටම්වලට මුහුන දී සිටින බවය.
එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය (OCHA) පසුගිය සතියේ පැවසුවේ ඊශ්‍රායල බලධාරීන් උතුරු ගාසා තීරයට ප්‍රවේශ වීම ක්‍රමානුකූලව අවහිර කරමින් සිටින බවය.
ගාසා තීරයට යන භාණ්ඩ පරීක්ෂා කරන ඊශ්‍රායලය, හමාස් සංවිධානය විසින් හමුදා කටයුතු සඳහා භාවිත කළ හැකි යැයි සලකන සියලුම භාණ්ඩ රඳවා තබා ගන්නේය. ඒ සඳහා දක්වන විරෝධතා ප්‍රතික්ෂේප කරන්නේය. ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත ප්‍රමාණවත් ආධාර නොලැබීම සම්බන්ධයෙන් පලස්තීන රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෙදා හැරීමේ යාන්ත්‍රණයට දොස් පවරමින් ඇත.
ඊශ්‍රායලය දෙසැම්බරයේ දී ආධාර ට්‍රක් රථ සඳහා දෙවන හරස් මාර්ගයක් විවෘත කළේය. ඒ හරහා දිනකට ට්‍රක් රථ 200ක් දක්වා ගාසා වෙත ඇතුළු කර ආහාර සහ ඖෂධ ප්‍රමාණය දෙගුණ කිරීමට අදහස් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ආරක්ෂක සහතික ලබා ගැනීමට අපොහොසත් වීමෙන් පසු මෑත සතිවල සැලසුම් කළ ආධාර බෙදා හැරීම් කිහිපයක් අවලංගු කිරීමට බල කෙරුණු බවය.
කුසගින්නේ තබා රෝගවලට ගොදුරු කිරීමට අමතරව ෂෙල් වෙඩි ප්‍රහාරවලින් මිනිස්සු විසි තුන් ලක්ෂයක් මරණය සඳහා කැප කර සිටිති. හිට්ලර් මීට වඩා මානුෂික බව කිව යුතුව ඇත.
අප ජීවත් වන්නේ මොනවගේ ලෝකයක ද?.