උපේක්ෂා උඩුවැරැල්ල –
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මානව සංහතියට එරෙහිව ඉතිහාසගත අපරාධයක් කරමින් සිටින බව යළිත් තහවුරු කළේය. ඒ සිය බුද්ධි අංශ නිගමනයන් සහ ඔවුන්ගේ නිර්දේශ ප්‍රතික්ෂේප කරමින් ස්වකීය ලේ වැකි උපකල්පන මත ලෝකය තිගස්වන ආකාරයෙන් එල්ලී සිටීමෙනි.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ජිනීවාහිදී ප්‍රංශය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ යුරෝපා සංගමයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ සාමකාමීබව එහිදී ඔහු තහවුරු කළේය. ඉරාන ජනාධිපති Masoud Pezeshkian ලෝකයට තහවුරු කළේ ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන අහිසංක එකක් බවත් බලශක්ති ප්‍රවේශයක් සඳහා න්‍යෂ්ටික බලය භාවිතා කිරීමට ස්වකීය ජාතියට අයිතියක් ඇති බවත්ය. ලෝකයට ස්වකීය බලශක්ති ව්‍යාපෘතිය සමීපව නිරීක්ෂණය කිරීමටත් අවස්ථාව සලසා දීමට ඉරානය කටයුතු කළ අතීතයක් තිබිණි. ඒ අවස්ථාවත් අහිමි කළේ ට්‍රම්ප්ය. ඒ ස්වකීය පළමු ධූර කාලයේ දීය.
බුද්ධි නිගමන ප්‍රතික්ෂේප කරන වියරුව
මේ අතර ඉරානය න්‍යෂ්ටික බලගැනීම් හරහා න්‍යෂ්ටික අවි නිශ්පාදනයක් නොකරන බව පසුගිය මාර්තු 25 වැනිදා එක්සත් ජනපද බුද්ධි ප්‍රධානී තුල්සි ගැබාඩ් විසන් කොංග්රස් මණ්ඩලයට විධිමත් වාර්තාවක් මගින් දන්වා තහවුරු කර තිබුණේය. එමෙන්ම කිසිම බුද්ධි තොරතුරකින් ඉරානයේ න්‍යෂ්ටි බලශක්ති ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස න්‍යෂ්ටික අවියක් නිශ්පාදනය කිරීමේ සැලසුමක් හෝ උත්සාහයක් පිළිබඳව අනාවරණය කර තිබුණේ නැත. බුද්ධි අංශ තහවුරු කර තිබුණේ ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනඟන්නේ නැති බවත්, උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි රටේ අත්හිටවූ න්‍යෂ්ටික අවි වැඩසටහන නැවත අනුමත කර නොමැති බවත්ය.
එවැනි අවස්ථාවක සිය බුද්ධි අංශ ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් පවසන්නේ ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනගන බවය. ට්‍රම්ප් පසුගිය අඟහරුවාදා (17) සිය ජාතික බුද්ධි අධ්‍යක්ෂවරිය වැරදි බව මාධ්‍ය හමුවේ කීවේය. “ඉරානය න්‍යෂ්ටික අවියක් සංවර්ධනය කිරීමේ ප්‍රමාද අවධියේ ඉන්නේ… බුද්ධි අංශවල සොයා ගැනීම ඔවුන්ගේම ප්රකාශයන්ට පටහැනියි. මට කමක් නෑ ” ට්‍රම්ප් එසේ පවසන්නේ එක්සත් ජනපද බුද්ධි ප්‍රධානී තුල්සි ගැබාඩ් එක්සත් ජනපද බුද්ධි ප්‍රජාවේ තක්සේරුව නැවත අවධාරණය කළ පසුබිමකය.
ඊයේ (20) ට්‍රම්ප් බුද්ධි තක්සේරුවන් අවතකසේරු කරමින් සිය විවචෙනය තවත් ඉදිරියට ගියේය. ඒ මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමිනි.
මාධ්‍යය – “ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනඟන බවට ඔබට ඇති බුද්ධි තොරතුර කුමක්ද? ඔබේ බුද්ධි අංශම තහවුරු කරනවා ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනගන බවට සාක්ෂි නෑ කියලා.”
ට්‍රම්ප් – “එසේ නම් මගේ බුද්ධි ප්‍රජාව වැරදියි. බුද්ධි ප්‍රජාවේ කවුද එහෙම කිව්වේ?”
මාධ්‍ය – “ඔබේ ජාතික බුද්ධි අධ්‍යක්ෂකවරිය තුල්සි ගැබාර්ඩ්,”
ට්‍රම්ප් – “ඇය වැරදියි,”
සිකුරාදා පසුව ගැබාර්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂාවට පැමිණි බවක් පෙනෙන්නට තිබුණි.
“ඉරානය න්‍යෂ්ටික ගිවිසුම් අවසන් කිරීමට තීරණය කළහොත් සතියක් කීපයක් හෝ මාස කිහිපයක් ඇතුළත න්‍යෂ්ටික අවියක් නිපදවිය හැකි ස්ථානයක සිටින බවට ඇමරිකාවට බුද්ධි තොරතුරු ලැබී තිබෙනවා. න්‍යෂ්ටික අවියක් නිශ්පාදනය කිරීමට හැකි බව ජනාධිපති ට්‍රම්ප් කියන දේ පැහැදිලියි. මා ඊට එකඟයි”
කෙසේ වෙතත්, එම ප්‍රකාශය ඇයගේ පෙර තක්සේරුවට පටහැනි නොවේ. ඇය පවසන්නේ ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනගන බවට කිසිම සාධකයක් නොමැති බවය. ඉරානය එහි න්‍යෂ්ටික වැඩසටහන න්‍යෂ්ටික අවි ගොඩනගනා බවට කිසිදු එක්සත් ජනපද බුද්ධි තක්සේරුවක් නිගමනය කර නැත.
ඉරාකයට කළ අපරාධය ඉරානයටත්?
ඇමරිකාව ඉරාකයට කළ අපරාධය ද මෙයමය. ඉරාකය විනාශ කලේ සමූහ ඝාතක රසායනික අවි පිළිබඳ මතයක් නිර්මාණය කරමිනි. එහෙත් අවසානයේ ඉරාකය සුන් බුන් ගොඩක් බවට පත්වූවා පමණි. රසායනික අවි සම්බන්ධව කිසිම තොරතුරක් නැතිව ඇමරිකාව ඉරාකයේ මළගම නිර්මාණය කළේය. ඒ පැරණි වියරුව අද ඇමරිකාව විසින් ගොඩනගන්නේ එදා පැවති වාස්තවික තත්ත්ව තුළ නොවේ. ඇමරිකා එක්සත් ජනපදයත් කුල්ල කුජීත වෙමින් ඇති වටපිටාවක ලෝක ප්‍රජාවගේ පිළිකුල සහ විරෝධය අතරමැදය.
අල් ජසීරා හි ජ්‍යෙෂ්ඨ දේශපාලන විශ්ලේෂක මාවන් බිෂාරාට පවසන්නේ සටන්වලට එක්සත් ජනපදයේ සෘජු මැදිහත්වීම සාධාරණීකරණය කිරීම සඳහා ට්‍රම්ප් පදනම් සාධක සොයන බවය. ඒ සඳහා ඉදිරිපත් වී ඇති සාධනීය මෙන්ම ප්‍රභල සාක්ෂි ට්‍රම්ප් දැඩි ලෙස නොසලකා හරින බවය. එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු රටේ බුද්ධි ප්‍රජාවට විවෘතව පටහැනි වීම අතිශයින් දුර්ලභය. ට්‍රම්ප් මේ ප්‍රතික්ෂේප කරමින් අවතක්සේරු කරන්නේ එක් පුද්ගලයෙකුගේ අදහසක් නොවේ. ඇමරිකාවේ සමස්ථ බුද්ධි අංශය. මේ ඒ පුදුම සහගත වූ විකල් දුර්වර්ණ අවස්ථාවය.
පුළුල් පරිමාණ කලාපීය යුද්ධයක අද්දර සිට ඊශ්‍රයාලයට සහ ඉරානයට බලපෑම් කළ හැකි රටවල් අතර මුදුනෙන්ම සිටින ඇමරිකා එක්සත් ජනපදය ය. එහෙත් ඉරාන ඊශ්‍රයාල යුද්ධය වලක්වා සටන් විරාමයක් සඳහා මැදිහත්වීමේ මැලිකම ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ප්‍රකට කර තිබේ. ඔහු ඊශ්‍රයාලය ඉතා හොඳින් යුද්ධය කරගෙන යන ආකාරයත් ඉරානය පරාජය අත් විඳමින් සිටින අවස්ථාවක සටන් විරාමයක් සඳහා මැදිහත්වීම දුෂ්කර බවත් පවසයි. එමෙන්ම තමන්ට ඉහළින් ගොස් තත්ත්වය සමනය කිරීමට යුරෝපීය රටවලට ඇති විභව භූමිකාවත් ඔහු අවතක්සේරු කළේය. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ජිනීවාහිදී ප්‍රංශය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ යුරෝපා සංගමයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවී පැය කිහිපයකට පසුව ට්‍රම්ප් මෙසේ කීවේය. ” යුද්ධය කෙළවර කිරීම සඳහා යුරෝපයට උදව් කිරීමට නොහැකි වනු ඇත,”
වොෂින්ටන් ඩීසී හි අල් ජසීරා නියෝජිත හයිඩි ෂෝ කැස්ත්‍රෝ සඳහන් කරන්නේ ට්‍රම්ප් “ඇත්ත වශයෙන්ම ඉරාන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම ලිහිල් කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටීමට උත්සාහ නොකරන බවය.
” ට්‍රම්ප් ඉතා සෘජුවම ඊශ්‍රායලයේ පැත්තේ සිටින බව පෙනේ. ඔහු රාජ්‍ය තාන්ත්‍රික මාර්ගයට නැඹුරු නොවන බව පැහැදිලි වෙමින් ඇත. , කෙසේ වෙතත්, නැවතත්, අවසාන තීරණයක් ගැනීමට ඔහු තමාටම සති දෙකක කාලයක් ලබා දී තිබේ.” හයිඩි පැවසුවාය.
ඉරානයේ භූගත න්‍යෂ්ටික බලාගාරය විනාශ කිරීම මත පදනම් වූ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම විසුරුවා හැරීමේ ඊශ්‍රායලයේ ප්‍රකාශිත ඉලක්කය සපුරා ගැනීමට එක්සත් ජනපද හමුදාවේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය වී ඇත.
මෙම පහසුකමට සාර්ථක ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා එක්සත් ජනපදය සතු රාත්තල් 30,000 (කිලෝග්‍රෑම් 13,000) බර GBU-57 දැවැන්ත යුධෝපකරණ විනිවිදකය සහ එය ඉලක්ක වෙත ගමන් කරවීමට B-2 බෝම්බ හෙලන යානා දෙකම අවශ්‍ය වේ.
සති දෙකක් තුළ ව්‍යසනයේ ප්‍රමාණය තීරණය කරන ට්‍රම්ප්ගේ තීන්දුව ලැබෙනු ඇත. ඒ තීන්දුව එක් අතකින් ඇමරිකාවේ පැවැත්මත් තීන්දු කරනු ඇති බව විශ්වාසය.







