උපේක්ෂා උඩුවැරැල්ල –
මහනුවර කඩිගුලක් සේය. අවුරුද්දේ නිනවුවක් නැති පොරයක් සදහා විදී බට මිනිසුන් නිසා ඇති වී ඇති වාහන තදබදය දැඩි වෙහෙසක් උපදවයි. එහෙත් ඒ පොලිස් තරුණයා හමුවී කෙටි සංවාදයක් ගොඩනගැ ගැනීමේ අභිලාෂය ඒ සියලු වෙහෙසකර හැඟීම් යටපත් කර ඇත. මම පා ගමනින්ම කටුගස්තොට පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටිමි.
අප ජිවත්වන්නේ ආදර්ශ හිඟ සමාජයකය. වීරයන් හීන සමාජයකය. අනෙකාගේ බෙල්ල පාගා හෝ ඉදිරියට ගොස් අත්පත් කරගැනිම් සඳහා හුරු වූ වටපිටාවකය. එවැනි මොහොතක කටුගස්තොට පාලමෙන් පහළ මහවැලි ගඟේ චන්ඩ දිය සුළි අතර අතුරුදහන් වීමට ගිය නොදන්නා තරුණියකගේ ජීවිතය බේරාදීම සඳහා ස්වකීය ජීවිතය පිළිබඳ බැඳීම් පසෙක තබා මහ දිය කඳට පනිනු ලැබූ තරුණ පොලිස් නිලධාරියා සමාජයක් ලෙස ඔසවා තැබිය යුතු අපේ කාලයේ ආදර්ශයක් බව සිතේ. මේ ගමනට මා පොළඹවන්නේ ද ඒ හැඟිමය.
ඔහු ඉඩමේ හේරත් මුදියන්ලොගේ තරුෂ නිළුපුල් හේරත්ය. වයස අවුරුදු 24කි. ගම දෙහිඅත්තකණ්ඩිය ය. දෙහිඅත්තකණ්ඩිය, සෙනානිගල දකුණ නවමැදගම අංක 09 නිවසේ පදිංචිව ඉන්නේය. පවුලේ වැඩිමහල් පුතාය. ඔහු පොලිස් සේවයේ කොස්තාපල්වරයෙකි. නිල අංකය (103984) ය. පොලිස් නිල ඇඳුමට දීප්තියක් එක් කළ වීර තරුණයෙකි.
අවසානයේ දී ඔහු මුනගැසුනෙමි. ප්‍රසන්න සිනාවකින් මුව සරසාගෙන සිටින මේ පොලිස් යෞවනයා සමග මදක් ඔහුගේ ජීවිත පසුබිම ගැන කතා කරමින් සංවාදයට ප්‍රවේශ වුනෙමි. පොලිස් නිලධාරී නිලුපුල් හේරත් කතාව ආරම්භ කළේය.

“මගේ අම්මා දීපාණී අත්තනායක. තාත්තා මුදියන්සෙලාගේ පියසිරි. පවුලේ වැඩිමලා මම. මල්ලි මේ පාර ඕලෙවල් කළා. මම සාමාන්‍ය පෙළ දක්වා සෙනානිගල දකුණ මහා විද්‍යාලයට ගියා. අපොස උසස් පෙළ කළේ මැදගම ජාතික පාසලෙදී. විභාගයේ ඉවරවෙලා අම්මා තමයි හොයල බලලා පොලිසියට අයදුම් පතක් දැම්මෙෙ. සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙලා එතනින් තේරිලා
ඉන් පස්සෙ 2022 මාර්තු 10 වැනිදා මහියංගනයෙ මාපාකඩ පොලිස් විද්‍යාලයට ඇතුළු වුණා. මාස හතක් පුහුණුව ලබලා ඉන් පස්සෙ නුවරට ආවා. නුවරින් කටුගස්තොට පොලිසියට මාව අනුයුක්ත කළා. දැන් කටුගස්තොට පොලිසියේ රථ වාහන අංශයෙ සේවය කරනවා.” ඔහු කෙටියෙන් සිය ජීවිතය ගැන කිවේය.
මද සල්ලාපයකින් අනතුරුව පෙරේදා (10) දහවල් සිදුවූ ඒ තීරණාත්මක සිදුවීම සම්බන්ධව ඔහු අපට කීවේය. ඒ කතාව සාවධානව අසා සිටියෙමි.
“මම එදා ඩියුටිය කළේ ගොහාගොඩ මංසන්ධියෙ. වහන වැඩියි. අවුවයි. ටිකක් වෙහෙසක් ආවා. මහන්සියට මුර කුටියට ආවා වතුර බොන්න. වතුර එක බොන අතරට පිරිසක් කෑ ගහනවා ඇහුණා ගෑනු ළමයෙක් ගඟට පැන්නා කියලා.”
“ගඟට පැන්නා කියලා ඇහෙද්දිම ඉබේටම මම මගේ බෙල්ට් එක ගැලෙව්වා මට මතකයි… බෙල්ට් එක ගලවන ගමන්ම පරණ පාලම පැත්තට මමයි රාජපක්ෂ සහ රවිඳු කියන පොලිස් නිලධාරියො දෙන්නයි දිව්වා. පාලමෙන් එබිලා බලනකොට ගෑනු ළමයා ගහගෙන යනවා දැක්කා.”
“ඒ එක්කම මම ෂර්ට් එකයි සපත්තු දෙකයි ගලවලා රවිඳු හිටපු පැත්තට විසි කළා . එතනින්ම මම ගඟට පැන්නා. ගැනු ළමයා ඉන්න පැත්තට පීනද්දි මට එයාගේ කොණ්ඩෙ අහුවුනා. එහෙමම ඇදගෙන කටුගස්තොට ටවුම කිට්ටු නිසා ඒ පැත්තට ම පීනලා ගියා. ඒ කියන්නෙ මාකට් එක පැත්තට.”
“එතන ඉවුරෙ ආරක්ෂාවට දැල් වැටක් ගහලා තියෙනවා දැල් වැට උඩින් ගෑනු ළමයව එහා පැත්තට දුන්නා. එතන රාජපක්ෂ එක්ක මිනිස්සු වට වෙලා ඉන්නවා උපකාර කරන්න බලාගෙන. ඒ අයගෙ උදව්වෙන් තමයි ගෑනු ළමයව උඩට ගත්තෙ.”
“ටවුන් එක ළඟ පාරෙ අපේ පොලිසියෙ නිලධාරි කෙනෙක් ඩියුට් ඉන්නව දැක්කා. මම කෑ ගහලා එයාට කිව්වත් ත්‍රීවිල් එකක් අරන් එන්න කියලා. ඒ සැනින්ම එයා ත්‍රීවිල් එකක් අරගෙන ආවා. අපි ගෑණු ළමයව රෝහලට යැව්වා.”
දැන් මං මේක කතාවක් වගෙ කිව්වට පොඩි වෙලාවක දි මේ සියලුම දෙවල් සිද්ධ වුණා කියලා මට මතකයි හැමෝම එක වගේ මේ ළමයගෙ ජීවිතේ බේරගන්න කළා. ඇත්තටම ඒක ඒ ළමයගෙ තිබුණ වාසනාවක්. එහෙම නොවෙන්න ජීවිතෙ නැති වෙන්න ඉඩ තිබුණා.
පොලිස් තරුණයා සිනාසෙයි. ඔහු එතැනින් සිය කටයුත්ත නිමා කර තිබුණේ නැත. වතුර පිටින්ම නිල ඇඳුම ඇඳගෙන ඔහු කටුගස්තොට රෝහලට ගොස් තිබිණි.
“මම ඇඳගෙන අර වතුර පිටින්ම රෝහලට ගියා මොකද කියල බලන්න. ගෑණු ළමයා ජීවත් වෙනවා කියලා දැක්කහම පුදුම සතුටක් දැනුනෙ. වෙන කාරණා හොය හොය හිටියෙ නෑ. මං ආපහු ආවා. කටුගස්තොට පොලිසියෙ ස්ථානාධිපති රාජපක්ෂ මහත්තයා වෙනත් නිලධාරියෙක් යවලා තිබුණා ගෑණු ළමයාගෙ තොරතුරු ගන්න. ”
ඔහුගෙන් සිය පිහිනුම් කුසලතාවය ගැන විමසා සිටියෙමි. යළිත් ඔහුගේ ප්‍රිය උපදවන සිනාවය.
“කොහොමත් ඉස්සර අපි ඇලේ දොළේ වැවේ හැදුණ ළමයි. මට වතුර හුරුයි. ඒ වගේම මේ වතුරට මට බයක් තිබුණෙ නැහැ. මේ වගේ වෙලාවක පණ කෙන්ද රැකෙන්නෙ හරිම කලාතුරකින්. මොකද තත්පර ගානකින් වතුර පෙවුනහම ජීවිතය අහිමි වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා මට තිබුණෙ කාලයත් එක්ක සටනක්. ජීවිතය බේරගන්න නම් දෙසැරයක් හිතන්න වෙලාවක් නැති බව මම දන්නවා…”
“අම්මා මොකද කිව්වේ…” මම ඔහුගෙන් විමසුවෙමි.
” අම්මා ගොඩක් සතුටුයි… තාත්තත් සතුටු වුනා. ඒත් මේ ගත්ත අවදානම ගැන ඒ අය ටිකක් බයෙන් ඉන්නේ. අම්මලා එහෙමයි නේ. හැබැයි එයාල මම ගැන දන්න නිසා විශ්වාසයක් තියනවා මට අනතුරක් වෙන්නේ නෑ කියලා.” ඔහු කීවේය. අන්තිමට ඔහු අපෙන් ඉල්ලීමක් කළේය.
“අනේ මේකත් ලියලා තියන්න. මම අහලා තියනවා මෙතනින් හරියට ගෑනු ළමයි ගඟට පනිනවා කියලා. මූලිකම හේතුව ආදර සම්බන්ධතා බිඳ වැටීම වගේ සිද්ධි. අපි ජීවත් වෙන්නයි ශක්තිමත් වෙන්න ඕන. ජිවිතයක් නැති වෙන්න ගතවෙන්නේ ඉතාම පොඩි වෙලාවක්. අපි අරගල කරන්න ඕන ජීවත් වෙන්න…” තරුණ පොලිස් නිලධාරියා කීවේය. ඔහු කී දේ ඒ අයුරින්ම ලියා තැබුවෙමි.
අප ජීවත් වන්නේ වීරයන් නොසිස් සමාජයක බව දැන් ඔහු රටට කියා දී ඇත. අනෙකා වෙනුවෙන් ජීවිත අවදානමක් ගැනීමට වුවත් සූදානම් පරාර්ථයක් සහිත තරුණයින් මේ වටපිටාව තුළත් බිහිවන බව ඔහු පෙන්වා දී ඇත. එය යහපත් හෙටක් වෙනුවෙන් ප්‍රාර්ථනා මාත්‍රයක් දල්වන බව මහා බරකින් යුතුව ලියා තබමි.







