ගැමුණු සාලිය පෙරේරා –
අප අවට තිබෙන ඌණභාවිත ආහාරවල තිබෙන පෝෂණ සහ ඖෂධීය ගුණයන් පිලිබඳව දැනුම් තේරුම් නොමැතිවීම නිසාවෙන් ලෙහෙසියෙන්ම ලබා ගත හැකි ඇතැම් පෝෂ්‍ය පධාර්ථ අපෙන් අහිමිව යමින් පැවතීම කණගාටුවට කාරණයකි. අපේ රටේ ජනවගේ විටමින් A පෝෂණ තත්ත්වය ද ඉතාම කණගාටුදායක ය. අපේ රටේ ගර්භිණී මවුවරුන් සහ පෙර පාසල් දරුවන් අතර මේ තත්ත්වය වඩාත් සෝචනීය වේ.
දීර්ඝ කාලීනව විටමින් A ඌනතාවෙන් පෙළීම කායික, මානසික වර්ධනයේ බරපතල ගැටලුවලට හේතුවකි. ප්‍රතිශක්තිකරණය දුර්වල වීම, මොළයේ ක්‍රියාකාරිත්වය දුර්වල වීම, වර්ධනය බාල වීම, ප්‍රජනන හැකියාව දුර්වල වීම සහ පෙනීමේ ආබාධ ඇති වීම ආදී සංකූලතාවලට හේතුවකි. විටමින් A ඌනතාව, අපේ රටේ කලක් තිස්සේ පවතින, තවමත් විසඳුමක් සොයා ගන්නට අසීරු වූ ජාතික සෞඛ්‍ය ගැටලුවක් බවද කිවය යුතුව ඇත. අප දඹල කොළ ගැන කතා කරන්නේ එවැනි පසුබිමකය.
උද්භිද විද්‍යාත්මකව Psophocarpus tetragonobus යන නාමයෙන් හඳුන්වන දඹල, මෙරට ජනතාව අතර ඉතාම ජනප්‍රිය එළවුළුවකි. දඹල, මුහුදු මට්ටමේ සිට මීටර් 2000ක් පමණ උස් වූ ප්‍රදේශ දක්වා වගා කළ හැකි භෝගයකි. එසේම වසර පුරාම කරල් හැදෙන, වැඩි ඉඩක් අවශ්‍ය නොවන, රෝග පළිබෝධ අඩු භෝගයකි.
දම් සහ කොළ පාටින් විචිත්‍රවත්ව දියුණු කළ දඹල ප්‍රභේද හඳුන්වා දී තිබෙන නිසා, දඹල වැලක් දෙකක් සිටුවා ගැනීමෙන් ගෙවත්තට අලංකාරයක් ද ලබා ගත හැකිය. අනෙක් අතට දඹල, ගෙවත්තේ ඉතාමත් පහසුවෙන් වගා කර ගත හැකි භෝගයක් ද වන බැවින්, කිසිදු මුදලක් වියදම් නොකර වස විස නැති පෝෂණීය වෑංජනයක් සකස් කර ගන්නට හැකි කදිම භෝගයක් ද වෙයි. එළවළු මිල ගණන් ගුවන්ගතවී තිබෙන මෙවන් වකවානුවක දඹල වැනි ලෙහෙසියෙන් සපයාගත හැකි ආහාර පෝෂණ ගුණ පිලිබඳ වැඩ අවධානයක් යොමු කිරීම බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙයි.
බොහෝ දෙනෙකු දඹල කරල් ආහාරයට එක් කර ගත්ත ද දඹල කොළ ආහාරයට ගන්නේ ඉතා සීමිත පිරිසකි. දඹල ශාකයේ මල්, කොළ, කරල්, බීජ, අල යන සියල්ල ආහාරයට ගත හැකි අතර, මෙම සියලු කොටස්වල ඉහළ පෝෂණ සංයුතියක් තිබේ. එසේ වුවද, එක් එක් කොටසට අදාලව ඇත්තේ වෙනස් වූ පෝෂණ ගුණයන් බව සිහියේ තබා ගැනීම වැදගත්ය.
දඹල කොළේ පෝෂණ ගුණය
දඹල කරල් ප්‍රෝටීන්, යකඩ, පොටෑසියම් සහ ෆෝලික් අම්ලය ඇතුලු බී කාණ්ඩයේ විටමින් වර්ගත්, සී විටමීනයෙනුත් පොහොසත් පෝෂණීය ආහාරයක් වුව ද, දඹල කරල්වල විටමින් A (බීටා කැරොටින්/- Carotin) අඩංගු වන්නේ ඉතා අල්ප වශයෙනි. කොටින්ම දඹල කරල් ග්රූම් සියයක විටමින් A අඩංගු වන්නේ අන්තර්ජාතික ඒකක 128 (128 IU) වැනි සුළු ප්‍රමාණයක් වන අතර, දඹල කොළවල (නොමේරු) ඉතාම ඉහළ අගයක විටමින් A ප්‍රමාණයක් තිබේ.
ඉන්දියානු අධ්‍යයනවලට අනුව එම ප්‍රමාණය අමු පත්‍ර ග්රෑම් 100 ක විටමින් ඒ ජාත්‍යන්තර ඒකක 8090කි. (8090 IU) එය අපගේ දෛනික විටමින් අවශ්‍යතාවය මෙන් 161.8 % ක් වෙයි.
විටමින් A කිවුවාම බොහෝ දෙනෙකුට සිහියට එන්නේ කැරට් ය. එහෙත් ප්‍රධාන පෙළේ පෝෂණ විද්‍යාඥයින් නොකීව ද, දඹල කොළ ග්‍රෑම් 100 ක කැරට්වලට සමානව හෝ ඊටත් වැඩියෙන් විටමින් A ප්‍රමාණයක් අන්තර්ගත වේ.
සාමාන්‍යයෙන් කිරි දෙන මවකගේ දෛනික විටමින් A අවශ්‍යතාවය අන්තර්ජාතික ඒකක 4,300 (4,300 IU/day) කි. වයස අවුරුදු පහකට අඩු ළමයෙකුගේ දෛනික විටමින් A අවශ්‍යතාවය අන්තර්ජාතික ඒකක 3,000 ටත් අඩු අගයක් ගනී. මේ විටමින් A ප්‍රමාණය ලබා ගන්න කෙනෙකුට දවසටම අවශ්‍ය වන්නේ දඹල කොළ මැල්ලුම් මිටක් පමණි.
පිසින අයුරු.
දඹල කොළවල බහුලව අඩංගුවන විටමින් A පිළිබඳව සඳහන් කරන විට, දඹල කොළ මැල්ලුම් පිස ගන්නා සූපවේදීමය ක්‍රම ශිල්පය පිළිබඳව ද සඳහන් කළ යුතු වේ. A විටමිනය මේදයේ දියවන විටමිනයක් බැවින්, පොල් සහ තෙල් දමා, අඩු උෂ්ණත්වයක සහ අඩු කාලයක දී දඹල කොළ මැල්ලුම පිස ගැනීමෙන් විටමින් A ඉතා කාර්යක්ෂමව සිරුරට අවශෝෂණය කර ගන්නට පිළිවන්වනු ඇත.
විටමින් A වලට අමතරව දඹල කොළවල C විටමිනයත් ඉතා සුලභව අන්තර්ගත වේ. විටමින් C ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ නැංවීමටත්, හෘදයේ මනා ක්‍රියාකාරිත්වයටත්, ශරීරයේ අනවශ්‍ය බර පාලනය කර ගැනීමටත්, පෙනීම යහපත්ව පවත්වා ගැනීමටත්, ශරීරයේ උෂ්ණත්වය නියාමනය කිරීමටත්, පූර්ව ජන්මීන්ගේ ආරක්ෂාවටත් වෙසෙසින්ම වැදගත්වන විටමිනයක් වෙයි. අනෙක් අතට විටමින් A (බීටා කැරොටින්) සහ විටමින් C යනු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක දෙකකි. ප්‍රතිඔක්සිකාරක සුලභ ආහාර වැඩිපුර ආහාරයට ගන්නා උදවියට පිළිකාව, දියවැඩියා රෝගය සහ හෘද රෝග ඇතුළු බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීමට සහ වියපත් වීම පාලනය කර ගැනීමට ද හැකියාව ලැබෙන බව සොයාගෙන තිබේ.
මීට අමතරව, දඹල කොළවල විටමින් B, යකඩ, කැල්සියම්, මැන්ගනීස්, පොටෑසියම් ඇතුලු අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ රාශියකුත් යහමින් අඩංගු වෙයි. https://www.medindia.net/nutrition-data/winged-bean-leaves-raw.htm
එබැවින් දඹල කොළ මැල්ලුම හෝ කවලම් මැල්ලුමට දඹල කොළ මිටක් එක්කර ගැනීම පෝෂණ ඌණතා අන් කවරදාටත් වඩා වේගයෙන් අපව හඹා එන මෙවන් කාල වකවානුවක තමාගේ සහ තම පවුලේ උදවියගේ පෝෂණ අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වන උදවියට ඉතාම වැදගත්වනු නිසැකය.