පුරා දශක හතක් තිස්සේ සහෘද රස භාව ස්වර වර්ණයෙන් සැරසූ ශ්‍රි ලාංකක සංගීත කෂේත්රයේ සිටි විශිෂ්ට ජ්‍යෙෂ්ඨතම සංගීතඥයා වූ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් අද (30) දිවි සැරියෙන් සමුගත් බව සංවේගයෙන් සටහන් කර තබමු.
වයස අවුරුදු 17ක් පමණ වූ තරුණයකු ලෙස සිංහල චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය සඳහා පිවිසි ෂෙල්ටන් ප්‍රේමරත්නයන් දේශීය සිනමාවේත්, කරළියේත් පෙරළි කළ සංගීත ලෝකයේ සුවිශේෂ චරිතයක්ව සිටියේය. අවුරුදු 17දී ඒ.පී.එම්. නූර් නම් ව්‍යපාරිකයා “ජීවිතයේ ප්‍රීතිය” නම් චිත්‍රපටය නිෂ්පාදනය කරද්දී සංගීත අධ්‍යක්ෂණය සඳහා ෂෙල්ටන් ප්‍රේමරත්නයන් තොරා ගත් ඉතිහාසය අවුරුදු 70ක් එපිටට දිවෙන්නකි.
ජෝතිරත්නගේ ෂෙල්ටන් ප්‍රේමරත්න 1931 අප්‍රේල් 29 වැනිදා කොළඹ කොටහේනේදී උපත ලැබීය. ඔහු මුලින්ම ඉගෙනීමට ගියේ කොටහේනේ සෙක්කු විදියේ කිතුණු ළදරු පාසලටය. ඉන්පසු හිල් වීදියේ මධ්‍ය මහා විද්‍යාලයට (අද හැඳින් වෙන්නේ කොටහේනේ මධ්‍ය මහා විද්‍යාලය )ටය.
ෂෙල්ටන්ගේ තාත්තා වූ සාදිරිස් මාස්ටර් ටවර් යුගයේ දක්ෂ ගායකයකු, සංගීතඥයකු මෙන්ම නළුවකු ලෙස ප්රකටව සිටියේය. 1910 වසරේ මෙරට සංගීත ක්ෂෙත්රයේ සංගීත සාජ්ජවල ප්රමුඛ සංගිත මාස්ටර්ලා අතර ප්රකටව සිටි රූපසිංහ මාස්ටර්, එඩී මාස්ටර්, ගවුස් මාස්ටර්, යු.ඩී. පෙරේරා මාස්ටර් අතර සාදිරිස් මාස්ටර්ද ප්රමුඛ චරිතයකි.
ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණයේ සූරයකු වූ ෂෙල්ටන් කලක් හෝමාගම මධ්‍ය විද්‍යාලයේ ගුරු වෘත්තියේ යෙදී ඇත. 1952 වසරේ ‘හීන කුලය’ නාට්‍යයෙන් සංගීත අධ්යක්ෂණයට පිවිසි ඔහු සසර දුක, සුරා සූදු අන්තුවා, සමදරා, මන්ත්‍රී හාමුදරුවෝ, ගුත්තිල මූසිල, සාරභූමි තිත්ත බත, පරෙවිය ආදී නාට්‍යවලද පසුකාලීනව තවත් උදෑසනක්, මනරංජන වැඩවර්ජන, හොටබරි යුද්දෙ, හුනුවටයේ කතාව, ඩුංඩුං බෙරේ, කෝන්තරේ, තහංචි, ගමන, සෛලාසනය, චුලෝදර මහෝදර, නරියා සහ කේජු, ශ්‍රී වික්‍රම, සිරිසඟබෝ නාට්‍යවල සංගීතය මෙහෙයවීය.
ෂෙල්ටන් විසින් නිර්මිති මියුරු ගුවන් විදුලි ගීත රැසක් ජනප්‍රිය වී ඇත. විජේරත්න වරකාගොඩ ගැයූ “හිරුපායනවා”, මොරිස් දහනායක ගැයූ “ඔන්න ඕලු මලක්”, ශ්‍රීමති තිලකරත්න ගැයූ “කිරි කැටි පුතුනේ”, මාලනී බුලත්සිංහල ගැයූ “සඳමඩලේ සිට”, අමරදේව හා චන්ද්‍රිකා සිරිවර්ධන ගැයූ “කැන්දන් එන්නේ කවදද මා” ගුණදාස කපුගේ ගැයූ “නාඹර ගොයමට” මේ ගීත අතර දිය දෝතකි. ඔහුගේ වේදිකා නාට්‍ය සංගීතයේ මුදුන්මල්කඩ හෙන්රි ජයසේනගේ හුනුවටයේ කතාවය. එහි එන මේ ගීතයන් ප්‍රේක්ෂක මනසින් කිසිදා බැහැර නොවනු ඇති.
“යුද්දෙට මම ගියා
ගෑනි ගෙදර තියා
මගේ යාළුවෝ මං එනතුරු
උන්දැ බලා ගනී නිරතුරු”
“සමුද්‍රදේවි” නාට්‍යයේ “ගෝවේ ගෑනු පරදායි” ගීතයද ෂෙල්ටන්ගේ නිර්මාණයකි.
ෂෙල්ටන් ප්‍රේමරත්න චිත්‍රපට සංගීත අධ්යක්ෂණයට පිවිසෙන්නේ සිරිසේන විමලවීරයන් 1957 වසරේ අධ්‍යක්ෂණය කළ “එකමත් එක රටක” චිත්‍රපටයෙනි. ඉන්පසු “මා ආලය කළ තරුණිය”, ගැහැනු ගැට, දස්කොන්, සිහින හතක්, තිසාහාමි (තිරගතවී නැත), හැංගි හොරා, බඩුත් එක්ක හොරු, කලණ මිතුරෝ, රොමියෝ ජුලියට් කතාවත්, හිතක පිපුණ මල්, මාහේනේ රීරි යකා, යලි ඉපිදේ, වීදුරු ගෙවල්, තිලක හා තිලකා, සිරිපාල හා රන්මැණිකා, එක් දවසක් රෑ, නිවෙන ගින්න, ආදර ගීතයක්, උණ්ඩය චිත්‍රපටවල සංගීතය අධ්‍යක්ෂණය කළ අතර ඒ චිත්‍රපට ආ ජනප්‍රිය ගීත අතර “ආලේ මිහිර පෙන්නා”, “රන්වළා තොටිල්ලේ”, නයනහාරි පෙම් කුමාරි”, “සෞම්‍ය පායා දිලෙන්නා”, “සුපුන් සඳක් නැගීලා”, “පුෂ්පමකරන්දය මාගේ”, “හංස රානි ආදරේ”, “අහසේ තරු ගණින්න වෙයිද දන්නේ නෑ”, ජීවිතේ යෞවන යාමේ”, “කලණ මිතුරු දහමයි”, “ දිනක යන මෙතැනින්”, “උපන් කාට වුණත්”, “මා හද වාවනු බෑ” වඩාත් කැපී පෙනෙයි.
ශ්‍රී ලාංකේය චිත්‍රපට ගීතාවලියේ වාර්තා තැබූ සංගීතඥයකු ලෙස ඔහු ප්රකටය. සිංහල චිත්‍රපටයක එන දිගම තේමා ගීතය නිර්මාණය කළේ ඔහුය. විනාඩි 10ක කාලයක් තිරයේ දුටු ඒ තේමා ගීතය මහාචාර්ය තිස්ස කාරියවසම් රචනා කළ අතර එය ගැයුවේ නිහාල් ජයවර්ධන (චිත්‍රපට නළු ඩොමී ජයවර්ධනගේ පුතා) විසිනි. “හාරසිය වසරකට පෙර හිරු නොබසින රට යැයි නම් ලත්” නම් ඒ ගීතය එන්නේ ජී.ඩී.එල්. පෙරේරා අධ්‍යක්ෂණය කළ “රෝමියෝ ජුලියට් කතාවක්” චිත්‍රපටයේය.
සිංහල චිත්‍රපටයකට ප්‍රථම ඉංග්‍රීසි ගීතය නිර්මාණය කළේ ඔහුය. ඒත් රෝමියෝජජ ජුලියට කතාවක් චිත්‍රපටය වෙනුවනි. එහි පද රචනය මර්සලීන් ජයකොඩි පියතුමාගේය. ගායනා කළේ සුනිල් ශාන්ත ය.
1959 වසරේ තිරගත වූ ‘දස්කොන්’ චිත්‍රපටයට ඔහු විසින් නිර්මාණය කළ සිංහල චිත්‍රපටියක් සඳහා ගායනා කළ ප්‍රථම ශාස්ත්‍රීය ගායනය ඇතුළත් වී ඇත. විනාඩි 6 1/2ක් දීර්ඝවූ මේ ගීතය “මාල්කෞන්ස්” රාගය ඇසුරෙන් නිර්මාණය වූ අතර එය ගායනා කළේ ෂෙල්ටන් හා සිසිර සේනාරත්නය.
හැටේ දශකයේ මැද භාගයේ අතිශයින්ම ජනප්‍රිය ගීත ඇතුළත් හින්දි චිත්‍රපටයක් වූ “දෝස්ති” ඇසුරෙන් 1970 නිපදවූ “කලණ මිතුරෝ” චිත්‍රපටයේ සංගීත අධ්යක්ෂවරයා වූ ඔහු ඒ සඳහා ස්වතන්ත්‍ර ජනප්‍රිය ගීත කිහිපයක් නිර්මාණය කළේ හින්දි ගීතවලට අභියෝගයක් හැටියටය. වික්ටර් රත්නායක ගැයූ “කලණ මිතුරු දහමයි”, “දිනෙක යන මෙතැන් සිට නික්මී”, “මහමෙර සාගර”, “උපන් කාට වුණත්”, “භවෙන් භවය” මේ ගීතයි.
ෂෙල්ටන් තරම් සංගීත ලෝකයේ පර්යේෂණ කළ සංගීතඥයන් සිටියේ නම් දෙතුන් දෙනෙකි. “හුනුවටයේ කතාවේ” හි වැල්පාලමේ අවදානම අපට දනවමින් එය ඉදිරියට විකාශනය වී නියම ශ්රැතියට පැමිණ අවසන් වේ. “සමුද්‍ර දේවි” නාට්‍යයේ “ගෝවේ ගැහැනු පරාදයි” ගීතයේ අශ්වයාගේ හේෂාරාවය හා බුරුවාගේ හඬ ඔහු මතු කර ගත්තේ වයලීනයෙනි. හුනුවටයේ කතාවේ අකුණු හඬ ෂෙල්ටන් මතු කළේ පැරණි X – RAY තහඩුවක් දෙකට නමා කිසියම් රිද්මයකට පහළට ඉහළට වේගයෙන් හැසිරවීමෙනි. ඔහු වරක් එකදු වාද්‍ය භාණ්ඩයක් නොමැතිව මිනිස් හඬ පමණක් භාවිතා කොට ඔහු Dred Voices ප්‍රසංගය 1976 ඉදිරිපත් කළේ සිය දෙනකුගේ හඬ වෘන්ද ගායනයක් ලෙසින් ඉදිරිපත් කරමිනි.
මෙම ප්‍රේමනීය සංගීතඥයා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි වී ශබ්දාගාරයක් පවත්වා ගෙනයමින් සංගීතය උගන්වමින් සිටින සිය පුතු සමග ජීවත් වූයේය.
ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබීමට නියමිතය.
(පසුගියදා දිවි සැරියෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.ඩී. රන්ජිත් කුමාරයන් මීට වසර හයකට පෙර ලංකාදීප පුවත්පතට ෂෙල්ටන් ප්‍රේමරත්නයන් පිළිබඳ සැපයු ලිපියක් ඇසුරින් පසුබිම් තොරතුරු උපුටා ගැනුණි.)