ශ්රී ලංකා පාකිස්ථාන දෙවැනි ටෙස්ට් තරගයේ ශ්රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම කුජීතය. තේ පානයට පෙර ඉනිම අවසානය. පන්දු ඕවර 50ක් ක්රීඩා කළේ නැත. පන්දු ඕවර 48.4 ක දී ලකුණු 166ක සියල්ල දැවී ගොස්ය.
යළිත් අපට මේ මොන ක්රිකට් දැයි සිතෙන්නේය. තමන්ගේ රටේ තමන්ගේ ක්රීඩාංගනවල තමන්ට වාසිදායක සේ සකසාගත් තනතීරු මත කුජීතවීම ක්රිකට්වලට ආදරය හිතන අපට නම් වේදනාවකි.
තගරය පැවැත්වෙන්නේ එස්.එස්.සි ක්රීඩාංගනයේ දී ය. තරගයේ කාසියේ වාසිය දිනුවේ ශ්රී ලංකා කණ්ඩායමය. පන්දුවට පහර දීමට තේරුවේ ඔවුන්ය. එසේ තෝරාගත් අපූරුව ලකුණු 170ක් ලබා ගැනීමට නොහැකි වීමෙන් කියැවුනේය.
ලකුණු 20කට වඩා ලබා ගත්තේ දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, සහ රමේෂ් මෙන්ඩිස් පමණි. ක්රීඩකයන් හත් දෙනෙක් ලකුණු 10කට අඩුය. ධනංජය පුරුදු රිද්මයෙන් හතරේ පහර 09ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 57ක් ලැබුවේය. දිනේෂ් චන්දිමාල් ලකුණු 34කි.රමේෂ් මෙන්ඩිස් ලකුණු 27කි. දුක හිතෙනම කතාව දුවද්දී දැවී යෑම් දෙකකි. ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ලකුණු 04කට දැවී යන්නේ දුවන්නට ගොස්ය.
ශ්රි ලංකා ඉනිම සුන් කළ පකිස්ථානු පන්දු යවන්නන් දෙදෙනා නසීම් ෂා සහ අබ්රාර් අහමඩ්ය. ෂා ලකුණ 41ට කඩුළු 3කි. අබ්රාර් අහමඩ් ලකුනු 69ට කඩුළු 04කි.
පකිස්ථාන ඉනිම අරඹි තිබේ. මේ වනවිට කඩුළු 01කට ලකුනු 63කි.