උපේක්ෂා උඩුවැරැල්ල –
ගෝලීය විද්‍යුත් මෝටර් රථ වෙළඳපොළේ දැවැන්ත පෙරළියක් සිදුකරමින් සිටින චීන සමාගම්, දැන් මෝටර් රථයක් තුළ තිබිය හැකි යැයි කිසිවකුත් නොසිතූ අමුතුම ආකාරයේ පහසුකම් හඳුන්වා දීමට පටන් ගෙන තිබේ. මෙහි නවතම පියවර තබා ඇත්තේ චීනයේ චොංකිං (Chongqing) නගරය කේන්ද්‍ර කරගත් සෙරෙස් (Seres) සමාගමය.
ඔවුන් සිය මෝටර් රථ මගීන්ට දීර්ඝ ගමන්වලදී රථයෙන් බැසීමට අවශ්‍ය නොවී, රථය තුළදීම සිය සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කරගත හැකි ‘වාහන තුළ වූ වැසිකිළි පද්ධතියක්’ (In-vehicle toilet) සඳහා පේටන්ට් බලපත්‍රය හිමිකරගෙන තිබේ.
නව තාක්ෂණික සැලසුම
2026 අප්‍රේල් 10 වන දින චීන බුද්ධිමය දේපළ පරිපාලන ආයතනය වෙත ඉදිරිපත් කළ පේටන්ට් වාර්තාවලට අනුව, මෙම වැසිකිළිය සැලසුම් කර ඇත්තේ මගී අසුනට පහළින් ඉතා සූක්ෂම ලෙසය. සාමාන්‍ය අවස්ථාවලදී මෙය අසුන යට සැඟවී පවතින අතර, අවශ්‍ය අවස්ථාවකදී මගියාට බොත්තමක් එබීමෙන් හෝ හඬ විධානයක් (Voice command) මගින් එය පිටතට ලබාගත හැකිය.
මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ රථය තුළ පවතින සීමිත ඉඩකඩ උපරිම ලෙස කළමනාකරණය වන පරිදි මෙය නිපදවා තිබීමය.

දුර්ගන්ධය සහ අපද්‍රව්‍ය කළමනාකරණය
මෝටර් රථයක් වැනි සංවෘත අවකාශයක් තුළ වැසිකිළියක් භාවිත කිරීමේදී මතුවන ප්‍රධානතම අභියෝගය වන්නේ දුර්ගන්ධය සහ සනීපාරක්ෂාවයි. සෙරෙස් ඉංජිනේරුවන් මීට නවීන විසඳුම් ඇතුළත් කර ඇත.
වැසිකිළිය ක්‍රියාත්මක වන විට රථය තුළට කිසිදු ගන්ධයක් ඇතුළු නොවන පරිදි විශේෂ විදුලි පංකා සහ බාහිරට විවෘත වන පිටකිරීමේ නල පද්ධතියක් (Exhaust pipe) මෙයට සම්බන්ධ කර තිබේ.
එසේම, එකතු වන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා මෙහි ‘තාපක මූලද්‍රව්‍යයක්’ (Rotating heating element) අමුණා ඇත. එමගින් මුත්‍රා වාෂ්ප කර දැමීම සහ අනෙකුත් අපද්‍රව්‍ය වියළි තත්ත්වයට පත් කිරීම සිදු කරයි. පසුව එම වියළි අපද්‍රව්‍ය සහිත ටැංකිය අතින් ඉවත් කර පිරිසිදු කිරීමේ හැකියාව මගියාට හිමිවේ.
චීන විද්‍යුත් රථ වෙළඳපොළේ දරුණු තරඟය
මෙවැනි අසාමාන්‍ය අංගයක් හඳුන්වා දීමට සෙරෙස් සමාගම පෙළඹුණේ චීන විද්‍යුත් මෝටර් රථ (EV) වෙළඳපොළ තුළ පවතින දැඩි තරඟකාරිත්වය හේතුවෙනි. මේ වන විට චීනයේ නිෂ්පාදිත රථවල සම්බාහන අසුන්, ගෘහස්ථ සිනමා පද්ධති, කැරෝකී සහ ශීතකරණ වැනි පහසුකම් සුලභය. පාරිභෝගිකයන් අතර කැපී පෙනීම සඳහා සමාගම් දැන් මෙවැනි ‘අධි-සුඛෝපභෝගී’ මෙන්ම ඇතැම් විට අමුතු යැයි හැඟෙන විශේෂාංග එකතු කරමින් සිටී.
සෙරෙස් යනු ලෝක ප්‍රකට BYD සමාගම මෙන්ම වර්තමානයේ ලාභ ලබන ප්‍රධාන චීන මෝටර් රථ සමාගමකි. ඔවුන් හුවාවේ (Huawei) සමාගම සමඟ එක්ව ‘අයිටෝ’ (Aito) සන්නාමය යටතේ SUV රථ නිෂ්පාදනය කරමින් දැනටමත් යුරෝපය, මැදපෙරදිග සහ අප්‍රිකානු රටවල් කරා ව්‍යාප්ත වී සිටී.
අතීතයේ රෝල්ස් රොයිස් අත්හදා බැලීම
වාහන තුළ වැසිකිළි පහසුකම් පෞද්ගලික මෝටර් රථවලට අලුත් දෙයක් වුවද, මෙය ඉතිහාසයේ පළමු අවස්ථාව නොවේ. 1954 වසරේදී විශේෂ ඇණවුමක් මත නිපදවන ලද රෝල්ස් රොයිස් සිල්වර් රේත් (Rolls-Royce Silver Wraith) රථයකද අසුන යට වැසිකිළි පහසුකමක් සහ රූපවාහිනියක් ඇතුළත් කර තිබූ බව සෝතිබි (Sotheby’s) වෙන්දේසි වාර්තා පෙන්වා දෙයි.
එහෙත් සෙරෙස් සමාගම උත්සාහ කරන්නේ මෙය නූතන තාක්ෂණය සමග මුසු කර සාමාන්‍ය මගී රථයකට ගැලපෙන ලෙස නිපදවීමටය.
කෙසේ වෙතත්, මෙම පේටන්ට් බලපත්‍රය මත පදනම් වූ වාණිජ මට්ටමේ මෝටර් රථයක් නිපදවන දිනයක් පිළිබඳව සෙරෙස් සමාගම මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැත. නමුත් මෙය විද්‍යුත් මෝටර් රථ තාක්ෂණයේ තවත් එක් සංධිස්ථානයක් ලෙස විචාරකයෝ හඳුන්වති. ( බීබීසී ඇසුරිනි)







