ඉඳුනිල් කහටපිටිය –
කරන්දෙණියේ රාජු, මීටියාගොඩ රාජු හෝ SF රාජු ලෙස හැඳින්වෙන පාතාල කුලී ඝාතකයා ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබීය. මොහු අත්අඩංගුවට පත්වන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදීය. ඩුබායි සිට නවදිල්ලියට පලා ගොස්, එතැනින් ග්‍රීසිය බලා යෑමේ අරමුණින් හෝටලයක ලැගුම් ගෙන සිටියදී රාජු කොටු කර ගැනීමට හැකි විය. ඒ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ වෙත ලැබුණු නිශ්චිත තොරතුරක් මත ඉන්දීය ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් අනතුරුවය.
අනතුරුව ඉන්දියාවේදී අත්අඩංගුවට පත් රාජු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකින් මෙරටට රැගෙන එනු ලැබීය. දිවයිනට පැමිණීමෙන් පසු මෙම අපරාධකරු දැනට නාරාහේන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ පසුවේ.
සංවිධානාත්මක අපරාධකරුවකු සහ කුලී ඝාතකයකු ලෙස දකුණු පළාත ලේ විලක් කළ මෙම අපරාධකරුගේ සැබෑ නම සෝබනාහන්දි සනත් ද සිල්වාය. මොහු දැනට ජීවතුන් අතර සිටින දරුණුතම මිනීමරුවා ලෙස හඳුනාගත් සෝබනාහන්දි ජයලත් ද සිල්වා හෙවත් කරන්දෙණිය සුද්දාගේ සහෝදරයාය. දකුණේ පාතාලයේ අතිශය භීෂණකාරී ලකුණ ලෙස සැලකෙන්නේ කරන්දෙණිය සුද්දාගේ කල්ලියයි. එම කල්ලියේ අපරාධ ජාලයේ මෙහෙයවන්නා මෙන්ම ප්‍රධාන තීරකයා ලෙස සුද්දා කටයුතු කරයි. තිරය පිටුපස සිටිමින් ඝාතන කොන්ත්‍රාත්තු ලබා ගැනීම සහ ඒවා සැලසුම් කිරීම සිදුකරන ආකාරය විමර්ශන අංශ අනාවරණය කරගෙන ඇත. මොහුගේ නම කරළියට පැමිණියේ කුලී ඝාතන ඇතුළු බරපතල ගණයේ අපරාධ රැසකට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වීම හේතුවෙනි.
සුද්දාගේ කල්ලියේ ප්‍රධාන මෙහෙයුම්කරු ලෙස කටයුතු කර තිබුණේ මීටියාගොඩ රාජුය. සුද්දා විසින් ලබාගන්නා ඝාතන කොන්ත්‍රාත්තු බිම් මට්ටමේදී ක්‍රියාත්මක කළේ රාජුගේ මෙහෙයවීමෙනි. හිටපු විශේෂ කාර්ය බළකා (STF) සහ යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තු සාමාජිකයෙකු ලෙස ඔහු ලැබූ යුධ පුහුණුව, ගිනිඅවි හැසිරවීමේ සහ මෙහෙයුම් සැලසුම්කරණයේ සුවිශේෂී දක්ෂතාවක් ඔහුට හිමිකර දී තිබිණි. දකුණ කැළඹූ ඝාතන 15ක් පමණ මෙම පුද්ගලයා විසින් සිදුකර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.
මීටියාගොඩ රාජු කවුද?
මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ රාජු, වයස අවුරුදු 20ක තරුණ අවදියේදී එනම් 2002 වර්ෂයේදී ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායට (STF) එක්වන්නේ කොස්තාපල්වරයෙකු ලෙසය. එම ප්‍රභූ ආරක්ෂක බළකාය තුළ ඔහු දැඩි විනයක් සහ මූලික මෙහෙයුම්කාරී පුහුණුවක් ලැබීය. විශේෂ කාර්ය බළකායේ සේවය කරන සමයේදීම ඔහු ගිනිඅවි හැසිරවීම සහ ක්ෂේත්‍ර මෙහෙයුම් සම්බන්ධයෙන් මූලික පරිචයක් ලබාගෙන තිබිණි.
ඒ වන විට කරන්දෙණිය සුද්දා යුද හමුදාවේ කොමාන්ඩෝ සෙබළකු ලෙස රණබිමේ ඉදිරි පෙළ සේවය කරමින් සිටියේය. රාජු ද සිය සහෝදරයා මෙන් යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවට සම්බන්ධ වීමට තීරණය කළේය. ඒ අනුව පොලිස් සේවයෙන් ඉවත් වූ ඔහු, යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වෙමින් දක්ෂ සෙබළකු ලෙස පුහුණුව ලැබීය.
රටේ ඉහළම ආරක්ෂක ඒකක දෙකක සේවය කිරීම හරහා ලැබූ උසස් මට්ටමේ මෙහෙයුම් සැලසුම්කරණය සහ රහසිගත ප්‍රහාර එල්ල කිරීමේ දැනුම, අවසානයේදී කුලී මිනීමරුවෙකු බිහි කිරීමට අඩිතාලම දැමීය. ඔහු යුද හමුදා සේවය අතහැර පලා ගිය පසු සිය යුද පුහුණුව පාතාල ලෝකය වෙනුවෙන් ආයෝජනය කළේය. ඔහු පාතාලයට ප්‍රවේශ වූයේ ඒ වන විට හමුදාවෙන් ඉවත් වී සිටි සිය සහෝදරයා වූ කරන්දෙණිය සුද්දා සමඟ එක්ව කුලී ඝාතන සිදු කිරීමෙනි.
පසුව දකුණු පළාතේ ප්‍රබලම කුලී ඝාතන ජාලය ගොඩනැගීමට සුද්දා සහ රාජු මුල් වූහ. අනතුරුව ඔහු සිය සොයුරාගේ කල්ලියේ ඝාතන කොන්ත්‍රාත්තු මෙහෙයවමින් දකුණු පළාත තිගස්වන්නට විය.
ඩුබායි සිට ඉන්දියාවට
ඔහු අවසන් වරට පොලිස් අත්අඩංගුවට පත් වූයේ 2017 වසරේදීය. කොස්ගොඩ රණා සමඟ ඒකල ප්‍රදේශයේදී රාජු අත්අඩංගුවට ගත්තේ එවකට ඔහුට එල්ල වී තිබූ ඝාතන 5කට සම්බන්ධ චෝදනා මතය. කෙසේ වෙතත් මෙම නඩු සඳහා දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිට ඇප ලබාගත් වහාම රාජු රටින් පලා ගියේය. ඔහු එතැන් සිට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියේය.
පවතින මැදපෙරදිග යුදමය තත්ත්වයට සමගාමීව ඩුබායි රාජ්‍යය ඇතුළු රටවල ඉරාන මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අපරාධකරුවන් සොයා දියත් වන දැඩි මෙහෙයුම් හමුවේ රාජු ඉන්දියාවට පැන ගොස් තිබිණි. ඔහුගේ අවසන් ඉලක්කය වී තිබුණේ ග්‍රීසියයි. නවදිල්ලි නුවරදී ශ්‍රී ලංකා බුද්ධි අංශ සහ ජාත්‍යන්තර පොලිසිය (Interpol) සමඟ සහයෝගීව ඉන්දීය ආරක්ෂක අංශ ඔහුව අත්අඩංගුවට ගත් අතර, ඒ බව නිල වශයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දෙනු ලැබුවේ පසුගිය 13 වැනිදාය. CID කණ්ඩායමක් ඉන්දියාවට ගොස් ඔහු රැගෙන එනු ලැබුවේ ඒ අනුවය.
රාජුට එරෙහිව විවෘත වරෙන්තු 16ක්, ගුවන් ගමන් තහනම් 24ක් සහ ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන (Interpol Red Notice) නිකුත් වී තිබිණි. ඔහු මෙරට පොලිසියට අවශ්‍යව සිටියේ මිනීමැරුම් ඇතුළු අපරාධ 15කට අධික සංඛ්‍යාවකට චෝදනා ලැබ සිටි බැවිනි.
අපරාධ චෝදනා සහ භූමිකාව
ඇල්පිටිය, අම්බලංගොඩ, කොස්ගොඩ සහ මීටියාගොඩ වැනි ප්‍රදේශවල කරන්දෙණිය සුද්දා මෙහෙයවූ මිනීමැරුම් පිටුපස රාජු සිටියේය. ඔහුට එල්ල වන ප්‍රධානම ඝාතන චෝදනාවක් වන්නේ කරන්දෙණිය රෝහලේ වෛද්‍ය ප්‍රියන්ත ප්‍රසාද් හෙවත් ‘හිත හොඳ දොස්තර’ ලෙස ප්‍රකට මානව හිතවාදී වෛද්‍යවරයා වෙඩි තබා ඝාතනය කිරීමයි. එය දකුණු පළාතේ පාතාලයේ අමානුෂික ස්වරූපය සනිටුහන් කළ සිදුවීමක් විය. අනෙක් බරපතල චෝදනාව වන්නේ හිටපු පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ ඝාතනය කිරීමයි. සිය සහෝදරයාගේ මස්සිනා වූ මිරන්ත ඝාතනය, අකුරේගොඩ නීතිඥ මල්වාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය, යසසිරි රෙස්ටුරන්ට් මුදල් අයකැමි මහදුර රොෂික ශ්‍යාමන් ඝාතනය සම්බන්ධයෙන් රාජුගේ සෘජු සම්බන්ධතාව අනාවරණය වී ඇති බව විමර්ශන අංශ පවසයි.
දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව කරන්දෙණිය සුද්දාගේ කල්ලියේ ඝාතන ලැයිස්තුව 30 ඉක්මවූවකි. සුද්දාගේ කල්ලියට ලැබෙන සියලුම ඝාතන කොන්ත්‍රාත්තු මෙහෙයවීමේ ප්‍රධාන භූමිකාව රාජු විසින් ඉටු කරන ලදී. විටෙක ඔහුම කුලී ඝාතකයෙකු ලෙස ක්‍රියා කළේය. එමෙන්ම නීතිවිරෝධී ගිනිඅවි පරිහරණය සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.
තවත් පෝලිමක්…
දැනට වාර්තා වන තොරතුරු අනුව විදේශවලදී අත්අඩංගුවට ගත් තවත් ප්‍රධාන පෙළේ අපරාධකරුවන් රැසක් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය. බටුවත්තේ චාමර, කොණ්ඩා රංජි මෙන්ම මෑතකදී අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය තොග එවූ බව කියන වනාතේ පරෙයි සුද්දා ද ඒ අතර වේ.
බටුවත්තේ චාමර හෙවත් මනෝජ් සුරංග ලියනගේ නැමැති අපරාධකරුගේ අපරාධ ඉතිහාසය වසර 25කට වඩා වැඩිය. අවසන් වරට ඔහු කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පවත්වා ඇති අතර ගණේමුල්ල සංජීව ඝාතනයේ කොටසකට ද ඔහු සම්බන්ධ බවට තොරතුරු පවතී. මැලේසියාවේ සිට මෙරටට ටොන් ගණනින් ‘අයිස්’ සහ අනෙකුත් මාරාන්තික මත්ද්‍රව්‍ය ගෙන්වීමේ ප්‍රධානතම ජාවාරම්කරුවෙකු වන මොහු අතිශය රහසිගතව සිය මෙහෙයුම් දියත් කළේය. මීගමුව, පෑලියගොඩ, ගම්පහ සහ ජාඇල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඔහු ශක්තිමත් මත්ද්‍රව්‍ය ජාලයක් ස්ථාපිත කළේය. මීට අමතරව ‘ආමි උපුල්’ සහ ‘කුඩු සුනීතා’ ඝාතන මෙහෙයවීමට ද ඔහු සම්බන්ධ බව තහවුරු වී ඇත. බටුවත්තේ චාමර බහරේන් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ එරට නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාව මතය. ඔහු මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඉදිරියේදී ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගලේවත්තේ ගමගේ චමින්ද දිල්රුක් හෙවත් ‘වනාතේ පරෙයි සුද්දා‘ 2026 අප්‍රේල් මස 12 වන දින ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහු බෝට්ටුවකින් පකිස්ථානය බලා පලායාමට උත්සාහ කරද්දී කොටු වූ බව වාර්තා වේ. බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක හිමිකරුවෙකු වන ඔහු, විදේශගතව සිටිමින් පාතාල කල්ලි වෙත මත්කුඩු සහ නවීන ගිනිඅවි සැපයීමේ නිරත විය. 2019 වසරේදී හෙරොයින් කිලෝ 50ක් සමඟ අත්අඩංගුවට පත් වුවද පසුව නිදහස් වී රටින් පලා ගිය ඔහු, කොළඹ සිදුවූ වෙඩි තැබීම් රැසකට ගිනිඅවි සැපයූ බවට සැක කෙරේ. වෙලේ සුදාගේ ජාලය වර්තමානයේ මෙහෙයවන්නේ ද මොහු බවට සැකයක් පවතී. 2025 මාර්තු මාසයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගත් රුපියල් බිලියන 10ක හෙරොයින් සහ ගිනිඅවි තොගය සමඟ ද මොහුගේ සබඳතා හෙළි වී ඇත.
කඳාන ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ප්‍රබල අපරාධකරුවෙකු වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ ද 2026 අප්‍රේල් 09 වැනිදා ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව තිබේ. ඉරාන ජාතිකයෙකු සමඟ සිදුකළ මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් එරට බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව ඔහු කොටු කරගෙන ඇත. CID විශේෂ කණ්ඩායමක් දැනටමත් ඩුබායි වෙත ගොස් මොවුන් මෙරටට රැගෙන ඒම සඳහා කටයුතු කරමින් සිටී.
මෙම මෙහෙයුම් රට තුළ යම් බලාපොරොත්තුවක් ඇති කරයි. එහෙත් වඩාත්ම වැදගත් වන්නේ මෙම දරුණු අපරාධකරුවන් සම්බන්ධයෙන් සැබෑ ලෙසම නීතිය ක්‍රියාත්මක කිරීමයි. මීට පෙර මෙරටට රැගෙන ආ කංජිපානි ඉම්රාන් වැනි අපරාධකරුවන් පසුව රටින් පලා ගිය අයුරු අපට අමතක කළ නොහැක. අපරාධකරුවන් දේශපාලන වාසි සඳහා යොදා නොගෙන, ඔවුන් විෂයෙහි නිශ්චිත සහ දැඩි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම රජයෙන් ජනතාව බලාපොරොත්තු වන ප්‍රධාන කරුණයි.







