කපිල කේ හීනටියන –
වසර 50කට අධික කාලයකට පසු ප්‍රථම වතාවට ආටෙමිස් II (Artemis II) අභ්‍යවකාශගාමීන් සිව්දෙනෙකු සඳ වටා ගමන් කර මාස දෙකකටත් අඩු කාලයකදී, ඇමරිකානු ජාතික අභ්‍යවකාශ සහ විද්‍යා සංගමය (NASA) සිය මීළඟ දැවැන්ත පියවර වෙත යොමු වී තිබේ.
ඒ අනුව අභ්‍යවකාශ ආයතනය මේ වන විට සඳ මත ස්ථාවර කඳවුරක් (Moon Base) ගොඩනැගීම සඳහා වන කටයුතු ආරම්භ කර ඇත.
ඊයේ ( 27) රාත්‍රියේ NASA ආයතනය විසින් වෙනත් ආකාශ වස්තුවක් මත මානව සංහතියේ ප්‍රථම ජනාවාසය පිහිටුවීම සඳහාවන නිල මාර්ග සිතියම (Roadmap) ප්‍රකාශයට පත් කරන ලදී. මෙහිදී සඳ මත ධාවනය වන රෝවර් (Rovers) සහ ලෑන්ඩර් (Landers) යාත්‍රා නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් බිලියනයකට ආසන්න වටිනාකමකින් යුතු කොන්ත්‍රාත්තු පිරිනැමීමට ද ඔවුන් පියවර ගෙන තිබේ.
එමෙන්ම මිනිස් පැමිණීම සඳහා සඳේ දක්ෂිණ ධ්‍රැවය සූදානම් කිරීමේ අරමුණින් 2026 වසරේදී දියත් කිරීමට නියමිත විශේෂ භාණ්ඩ ප්‍රවාහන (Cargo) මෙහෙයුම් තුනක් පිළිබඳව ද මෙහිදී නිවේදනය කෙරිණි.
“මිනිසුන් සහිත සහ රහිත සෑම මෙහෙයුමක්ම අපට ඉගෙනීමේ අවස්ථාවක් වනු ඇති. අප නැවතත් චන්ද්‍ර පෘෂ්ඨය වෙත ගොස්, එහි රැඳී සිටීමට අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනඟමින්, සිතාගත නොහැකි තරම් අභියෝගාත්මක සහ අවදානම් සහගත පරිසරයක ජීවත් වීමට හා ක්‍රියාත්මක වීමට අවශ්‍ය කුසලතා ප්‍රගුණ කරනවා,” යැයි NASA ප්‍රධානී ජැරඩ් අයිසැක්මන් (Jared Isaacman) ප්‍රකාශ කර සිටියේය.

සූදානම් වීමේ මෙහෙයුම් තුනක්
සඳ මත කඳවුරක් පිහිටුවීම වෙනුවෙන් 2026 වසර සඳහා NASA ආයතනය නිවේදනය කළ මෙහෙයුම් තුනෙහිම මූලික අරමුණ වන්නේ, අභ්‍යවකාශගාමීන් සඳ මත ගොඩබැසීමට පෙර එහි උපකරණ පරීක්ෂා කිරීම සහ අවදානම් අවම කරගැනීමය. මෙම වසරේදී නිවේදනය කිරීමට නියමිත තවත් මෙහෙයුම් දුසිමකට වඩා වැඩි ප්‍රමාණයක මුල්ම පියවර වන්නේ මෙම මෙහෙයුම් තුනය.
- Moon Base I (පළමු මෙහෙයුම): ‘බ්ලූ ඔරිජින්’ (Blue Origin) සමාගමේ ලෑන්ඩර් යාත්‍රාව භාවිත කරමින් විද්‍යාත්මක උපකරණ දෙකක් සඳේ දක්ෂිණ ධ්‍රැවය අසල පිහිටි කඳුවැටියක් වෙත රැගෙන යනු ඇත. රොකට්ටුව ගොඩබස්වන අවස්ථාවේදී ඉන් පිටවන දුමාරය සඳේ මතුපිට සමඟ දක්වන ප්‍රතික්‍රියාව අධ්‍යයනය කිරීම සඳහා වන කැමරා පද්ධතියක් සහ කක්ෂයේ ඇති අභ්‍යවකාශ යානාවලට තමන් සිටින නිශ්චිත ස්ථානය හඳුනා ගැනීමට උදවු වන පරාවර්තකයක් (Reflector) මීට ඇතුළත් වේ.
- Moon Base II (දෙවැනි මෙහෙයුම): මෙහිදී කුඩා රෝවර් යානයක් සමඟ කිලෝග්‍රෑම් 500ක පමණ සැපයුම් ද්‍රව්‍ය සඳ වෙත යැවීමට නියමිතය. අනාගතයේදී අභ්‍යවකාශගාමීන්ට සඳ මතුපිට නිරන්තරයෙන්ම සිදු කිරීමට සිදුවන භාණ්ඩ ප්‍රවාහන කටයුතු පිළිබඳ පුහුණුවීම් සහ පෙරහුරු පැවැත්වීම මෙහි අරමුණයි.
- Moon Base III (තුන්වැනි මෙහෙයුම): සඳ මතුපිට දක්නට ලැබෙන ‘ලූනර් ස්වර්ල්ස්’ (Lunar Swirls) ලෙස හැඳින්වෙන අසාමාන්‍ය දීප්තිමත් ලප පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා මෙය සැලසුම් කර ඇත. මෙම මෙහෙයුම සඳහා යුරෝපීය අභ්‍යවකාශ ආයතනය (ESA) සහ දකුණු කොරියානු අභ්‍යවකාශ ආයතනය සතු උපකරණ ද රැගෙන යාමට නියමිතය.

සඳේ මෙහෙයුම් සඳහා වන මූල්‍ය ආයෝජන
ප්‍රථම චන්ද්‍ර රෝවර් යාත්‍රා නිෂ්පාදනය කිරීම සඳහා NASA ආයතනය විසින් ඇමරිකානු සමාගම් දෙකක් වන ඇස්ට්රොලැබ් (Astrolab) සහ ලූනර් අවුට්පෝස්ට් (Lunar Outpost) වෙත පිළිවෙළින් ඩොලර් මිලියන 219ක් සහ ඩොලර් මිලියන 220ක් ගෙවා ඇත. මෙම රෝවර් යාත්‍රා 2028 වන විට භාවිතය සඳහා සූදානම් කිරීමට නියමිතය.
ඇස්ට්රොලැබ් සමාගම නිපදවන රෝවර් යානය කිලෝග්‍රෑම් 900ක පමණ බරකින් යුක්ත වන අතර, පැයට කිලෝමීටර 9.5කට වඩා වැඩි වේගයකින් අභ්‍යවකාශගාමීන් රැගෙන යාමට හැකි වන පරිදි එය සැලසුම් කෙරේ. ලූනර් අවුට්පෝස්ට් සමාගමේ රෝවර් යානය වඩාත් සැහැල්ලු සහ වේගවත් එකක් වන අතර එය පැයට කිලෝමීටර 14කට වඩා වැඩි වේගයකින් ධාවනය කළ හැකිය. එය යානය තුළ සිටින පුද්ගලයෙකුට පැදවීමට, පෘථිවියේ සිට දුරස්ථ පාලක මඟින් පාලනය කිරීමට හෝ ස්වයංක්‍රීයව (Autonomous) ක්‍රියාත්මක වීමට හැකි වන පරිදි නිපදවීමට සැලසුම් කර ඇත. වඩාත්ම සුවිශේෂී කරුණ නම්, මෙම යානය සඳ මත වසරක් දක්වා කාලයක් නොනැසී පැවතීමට හැකි වන පරිදි නිර්මාණය කිරීමය.
මෙම රෝවර් යාත්‍රා සඳ මතුපිටට ආරක්ෂිතව රැගෙන යාමේ වගකීම පැවරී ඇත්තේ ජෙෆ් බෙෆෝස් (Jeff Bezos) සතු ‘බ්ලූ ඔරිජින්’ (Blue Origin) සමාගමටයි. එම කාර්යය සඳහා ඔවුන්ට ඩොලර් මිලියන 188ක් ගෙවා ඇති අතර, ඔවුන්ගේ දක්ෂතාව සහ කාර්යසාධනය මත පදනම්ව තවත් ඩොලර් මිලියන 280.4ක අමතර මුදලක් උපයා ගැනීමේ අවස්ථාව ද හිමි වේ. රෝවර් නිෂ්පාදකයන් දෙපාර්ශවයටම ඔවුන්ගේ සැලසුම් අවසන් කිරීමට, අභ්‍යවකාශගාමීන් යොදවා ඒවා පරීක්ෂා කිරීමට සහ පියාසර කිරීමට සූදානම් කිරීමට මාස 18ක කාලයක් ලබා දී ඇත.

මිනිසුන්ට පෙර යන ඔත්තුකරුවන්
රෝවර් යානාවලට ගමන් කිරීමට අපහසු හෝ අධික අවදානම් සහිත භූමි ප්‍රදේශවල ඡායාරූප ගැනීම සඳහා 2028 වසරේදී ඩ්‍රෝන යානා (Hopping Drones) හතරක් ද සඳ වෙත යැවීමට NASA කටයුතු කරමින් සිටී.
‘ෆයර්ෆ්ලයි ඒරොස්පේස්’ (Firefly Aerospace) සමාගම විසින් මෙම ඩ්‍රෝන යානා රැගෙන යන අභ්‍යවකාශ යානය නිෂ්පාදනය කරනු ඇත. ඩ්‍රෝන යානා සිය පියාසර කටයුතු අවසන් කළ පසු, ඒවා මඟින් ඉතිරි කර යන සෙන්සර් (Sensors) මඟින් මාස ගණනාවක් යනතුරු දත්ත රැස් කිරීම සිදු කෙරේ. මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, එය සඳේ දක්ෂිණ ධ්‍රැවය තුළ අඛණ්ඩ සහ නොබිඳුණු මානව රැඳී සිටීමක් වෙනුවෙන් NASA තබන දැවැන්තම පියවර සනිටුහන් කරනු ඇත.
“මෙම චන්ද්‍ර කඳවුර (Moon Base) වෙනත් ආකාශ වස්තුවක් මත ඇමරිකාවේ සහ සමස්ත මානව වර්ගයාගේම ප්‍රථම මුරපොල බවට පත්වනු ඇති. අප එදෙසට යන්නේ විද්‍යාවේ දියුණුව උදෙසායි. ආර්ථික හා තාක්ෂණික දෘෂ්ටිකෝණයකින් අපට ලබාගත හැකි සියලු ප්රතිලාභ වෙනුවෙන්, පෘථිවියේ ජීවිතය වඩාත් යහපත් කරන නවෝත්පාදනයන් උදෙසා සහ අපේ මීළඟ නොවැළැක්විය හැකි අභ්‍යවකාශ ගමනාන්තය සඳහා සූදානම් වීමටයි,” යැයි අයිසැක්මන් අවධාරණය කළේය.







