ත්‍රී කුණාමලය සමන් මල්ලවආරච්චි –
ත්‍රිකුණාමල දිසා අධිකරණයේ විභාග වන ඉඩම් නඩුවකට අදාළ නඩු ලිපිගොනුවක් සොරකම් කළ එම දිසා අධිකරණයේ සේවයේ නියුතු කළමනාකරණ සහකාරවරයෙකු සහ එයට ආධාර අනුබල දුන් සහකාර කළමනාකාරවරියක ලබන ජුනි පළවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය වැඩබලන මහේස්ත්‍රාත් ඒ.එස්.එම්.අන්ෆාර් නියෝග කළේය.
මෙලෙස බන්ධනාගාරගත කෙරුණු සැකකරු සහ සැකකාරිය ත්‍රිකුණාමල දිසා අධිකරණයේ සේවය කරන, කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. දිසා අධිකරණ රෙජිස්ට්‍රාර් කාමරයේ තිබූ මෙම නඩු ලිපිගොනුව සැකකරුගේ ඉල්ලීම පරිදි සැකකාරිය විසින් සොරකම් කර සැකකරුට ලබා දී ඇතැයි වරාය පොලිසිය අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
මෙම නඩු ලිපිගොනුව සොරකම් කිරීම සම්බන්ධයෙන් දිසා අධිකරණ රෙජිස්ට්‍රාර් රායප්පු ජෝමේල් රෝයි කෲස් විසින් ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ කින්නියා හි පිහිටි නිවසේ තිබී සොරකම් කරන ලද නඩු ලිපිගොනුව සොයා ගැනීමට හැකි වී තිබේ. පසුව මේ සඳහා ආධාර අනුබල දුන් සැකකාරිය ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා වරාය පොලිසියට භාර දී ඇත.
දිසා අධිකරණයේ සේවයේ නියුතු දෙදෙනකු විසින් මෙම නඩු ලිපිගොනුව සොරකම් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් පැවැත්වීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම් දෙන ලෙස ත්‍රිකුණාමලය දිසා විනිසුරු කරුපයියා ජීවරාණි, දිසා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබේ.







