දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය මර්දනය කිරීම සහ සනීපාරක්ෂක කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම මත පදනම්ව අවශ්‍ය භට පිරිස් සහ උපකරණ කඩිනමින් මුදාහරින ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාව වෙත උපදෙස් දී තිබේ.
මෙම පියවර ගෙන ඇත්තේ මෙය ජුනි 22 දින ජනාධිපති කාර්යාලයේදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී එළඹි තීරණවලට අනුවය.
එම තීරණවලට අනුව ඩෙංගු මර්ධනය සඳහා ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් විශේෂ අධීක්ෂණ ඒකකයක් පිහිටුවීමට නියමිතය. ඊට සමගාමීව ජූනි 24, 25 සහ 26 යන තෙදින තුළ දිවයින පුරා හඳුනාගත් ග්‍රාම නිලධාරී වසම් 600 ක් ආවරණය වන පරිදි දැවැන්ත ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කිරීමටත්, මදුරුවන් බෝවන පරිශ්‍ර පවත්වාගෙන යනු ලබන පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමටත් මෙහිදී තීරණය කර තිබේ.
මීට පෙර ද ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම දැඩි බලපෑමක් එල්ල වූ මාතර දිස්ත්‍රික්කය වැනි ප්‍රදේශවල විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වී ඇත.
මෙරට ඩෙංගු ව්‍යාප්තිය දැඩි අවදානම් සහගත මට්ටමකට ළඟා වෙමින් මේ වසරේ ගත වූ මාස හයකට ආසන්න කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 47,530 ක් වාර්තා වී ඇති අතර, වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 29 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය (NDCU) ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ නවතම වාර්තාවලට අනුව ජුනි මාසයේ ගත වූ දින 22 තුළ පමණක් රෝගීන් 13,689 ක් වාර්තා වී ඇත. මෙම බරපතළ තත්ත්වය හමුවේ මදුරු මර්දන සහ සනීපාරක්ෂක කටයුතු කඩිනම් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා දෙන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් හදිසි ඉල්ලීම් කර තිබේ.
පසුගිය වසරේ (2025) මුළු වසර පුරාම වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 51,000 ක් පමණ වන අතර, මේ වසරේ මුල් භාගය තුළදීම එම සීමාවට ආසන්න වීම රටේ සෞඛ්‍ය පද්ධතියට දැඩි තර්ජනයක් වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ ව්‍යාප්තිය
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මෙරට සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 51.90 ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, දෙවැනි වටයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති දකුණු පළාතෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සියයට 16.18 කි. මේ වන විට දිවයින පුරා ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 112 ක් හඳුනාගෙන තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෙසේය:
-
කොළඹ දිස්ත්‍රික්කය: 9,983
-
ගම්පහ දිස්ත්‍රික්කය: 8,809
-
මාතර දිස්ත්‍රික්කය: 3,446
පවතින නිරිතදිග මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් මදුරු ගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින ස්ථාන, පාසල් හා කාර්යාල පරිශ්‍ර, නිවාස අවට නිසි ලෙස පිරිසිදු නොකිරීම සහ ජලය රැඳෙන බඳුන් අවට පරිසරයේ අතහැර දැමීම වෛරසය ව්‍යාප්ත වීමට ප්‍රධානතම හේතු වී තිබේ.
මේ හේතුවෙන් ඩෙංගු මර්දනය සඳහා රජය සහ සෞඛ්‍ය අංශ දියත් කරන වැඩපිළිවෙළට සමගාමීව මහජනතාව ද දැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතු බව විශේෂඥයෝ අවධාරණය කරති. ඒ වෙනුවෙන් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාව මෙසේය:
-
නිවාස, පාසල් සහ සේවා ස්ථාන අවට ජලය රැඳිය හැකි ටයර්, සෙල්ලම් බඩු, ප්ලාස්ටික් හා කැඩුණු බඳුන් වහාම ඉවත් කිරීම හෝ වසා දැමීම.
-
පානීය ජල ටැංකි සහ ජලය ගබඩා කරන බඳුන් සතියකට වරක්වත් පිරිසිදු කර ආරක්ෂිතව ආවරණය කිරීම.
-
මදුරු දෂ්ටනවලින් ආරක්ෂා වීම සඳහා මදුරු විකර්ෂක (repellents) භාවිතය සහ ශරීරය ආවරණය වන දිග අත් සහිත ඇඳුම් ඇඳීම.
-
උණ, දැඩි හිසරදය, ඇස් යට රිදුම් දීම, සන්ධි සහ වෛද්‍ය වේදනා වැනි රෝග ලක්ෂණ මතු වූ වහාම ස්වයං ප්‍රතිකාරවලින් වැළකී සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු වීම.







