අසේල කුරුළුවංශ –
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා, ගිනි අවියක් අතැතිව නීති විරෝධී කටයුත්තක නියැලී සිටින බවට පොලිස්පතිවරයා තමන්ව දැනුවත් කළ බවත් නීති විරෝධී කටයුත්තක නිරතවන ඕනෑම පුද්ගලයෙක් විෂයෙහි නීතිය දැඩිව ක්‍රියාත්මක වනු ඇති බවත් කතානායකවරයා අද (30) මහනුවර දී මාධ්‍ය අමතමින් පැවසුවේය.
අවි ආයුධ අතට ලැබුණු පමණින් මන්ත්‍රීවරුන්ට තබා කිසිවෙකුටත් එවැනි ආකාරයෙන් හැසිරීමට අයිතියක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනාට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවත්, පොලිසියෙන් සහ අධිකරණයෙන් තමන් ඉල්ලා සිටින්නේ නීතිය සියලු දෙනාටම එක හා සමානව ක්‍රියාත්මක කරන ලෙසට බවත් කතා නායකවරයා කීවේය.
එමෙන්ම පොදුවේ තමන් පාර්ලිමේන්තුවේ විනය සම්බන්ධව දැඩි ස්තාවරයක සිටිනා බව කතානායකවරයා අවධාරණය කළේය.
පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තුවට උචිත නොවන ප්‍රකාශ සිදු කරන අවස්ථා දක්නට ලැබෙන බවත්, එවැනි ප්‍රකාශ බොහෝ විට හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බවත් කී කථානායකවරයා පාර්ලිමේන්තු සභාවාර විද්‍යුත් මාධ්‍ය මගින් සජීවීව විකාශනය වන බැවින් ජනතාව මෙම හැසිරීම් නිරීක්ෂණය කරන බව පෙන්වා දුන්නේය.
මන්ත්‍රීවරුන් උගත් මෙන්ම බුද්ධිමත් ලෙස හැසිරිය යුතු බවත් නොමනා කතා හෝ චර්යාවන් මගින් මහජන නියෝජිතයින් පෙන්නුම් කරන්නේ තමන්ගේම හැදියාව සහ බුද්ධි මට්ටම බවත් අවධාරණය කළ කථානායකවරයා තමන් රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කටයුතු කරන බව සියලු දෙනා තේරුම් ගත යුතු බව ද කීවේය.







