ගයාන් සමරසිංහ –
ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ක්ෂේත්‍රයේ ප්‍රධානම කාලකණ්නින් දෙදෙනෙකු වන සිරාන් බාසික් සහ ඇල්ටෝ ධර්මේ ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වීමේ පුවතත් සමඟ මෙරට පාතාලයේ අභ්‍යන්තර ව්‍යුහය දැඩි කැළඹීමකට ලක්ව තිබේ.
දිගු කලක් තිස්සේ ඩුබායි රාජ්‍යය ආරක්ෂිත පාරාදීසයක් කරගෙන සිටි මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා මෙලෙස කොටු වී ඇත්තේ එරට පොලිසිය ක්‍රියාත්මක කළ සුවිශේෂී සහ අහඹු මෙහෙයුම් මාලාවක ප්‍රතිඵලයක් වශයෙනි.
මෙම අත්අඩංගුවට ගැනීම්වලට අදාළව දැනට වාර්තා වන සහ තිරය පිටුපස ඇති අතිශය සංවේදී තොරතුරු විශ්ලේෂණය මෙසේය.
-
ඩිරාම් ලක්ෂ 6ක උන්ඩියල් ජාවාරම සහ හෝටල් ගැටුම: ශිරාන් බාසික් කොටු වූ හැටි
ලංකාවට මත්ද්‍රව්‍ය සැපයීමේ ප්‍රධානතම මධ්‍යස්ථානයක් මෙහෙයවූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරාන් බාසික් ඩුබායි ආරක්ෂක අංශවල දැලට කොටු වන්නේ මීට සති තුනකට පමණ පෙර සිටය. ඔහු ඩුබායි රාජ්‍යය තුළ පෙනී සිටියේ ස්වර්ණාභරණ අලෙවිසැල් හිමි මහා පරිමාණ සහ නීත්‍යානුකූල ව්‍යාපාරිකයෙකු ලෙසය. ශ්‍රී ලංකා අධිකරණයෙන් නිවැරදිකරුවෙකු ලෙස නිදහස්ව, කිසිදු නීතිමය බාධාවකින් තොරව රටින් පැනගොස් සිටි ඔහුට එරෙහිව මීට පෙර ඩුබායි රාජ්‍යය තුළ කිසිදු සාපරාධී වාර්තාවක් නොතිබීම ඔහුගේ ආරක්ෂාවට විශාල ශක්තියක් විය.
කෙසේ වෙතත්, මීට සති තුනකට පෙර ඩිරාම් ලක්ෂ හයක (600,000) මුදලක් නීති විරෝධී ‘උන්ඩියල්’ (Undiyal) ක්‍රමයට ඉරානයට යැවීමට දැරූ උත්සාහයකදී ඩුබායි පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේය. පාතාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ ‘පරෙවි සුද්දා’ නමැති පාතාල ක්‍රියාකාරිකයා පාවාදී ඒ අවස්ථාවේ දී ශිරාන් බාසික් නිදහස් වූ බවය.
පසුව පරෙවි සුද්දා ද එරට ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් විය.
එම මුදල් ජාවාරමෙන් අනතුරුව යළිත් වරක් සිරාන් බාසික් ඩුබායි පොලිසියට කොටු වී ඇත්තේ එරට ප්‍රධාන පෙළේ හෝටලයක් තුළදී පුද්ගලයෙකු සමඟ ඇති කරගත් දරුණු බහින්බස්වීමක් සහ ගැටුමක් හේතුවෙනි. ඩුබායි රාජ්‍යය තුළ පොදු ස්ථානවල සාමය කඩකිරීම සම්බන්ධයෙන් පවතින දැඩි නීතිමය තත්ත්වය හමුවේ ඔහුව නැවතත් දැඩි පරීක්ෂාවට ලක් කෙරුණු අතර, වර්තමානය වන විට ඔහු සම්පූර්ණයෙන්ම එරට ආරක්ෂක අංශවල අත්අඩංගුවේ පසුවේ.
-
වෙනත් අයෙකු පන්නාගෙන ආ පොලිසියට ඇල්ටෝ ධර්මේ අහම්බෙන් කොටු වෙයි!
සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන ‘ඇල්ටෝ ධර්මේ’ ගේ අත්අඩංගුවට පත්වීම අහම්බෙන් සිදු වූවකි. ඩුබායි පොලිසිය සැබවින්ම ලුහුබැඳ ගොස් ඇත්තේ කොළඹ පාතාලයේ ක්‍රියාත්මක වන, එරට ආරක්ෂක අංශවලට ද අත්‍යවශ්‍යව සිටි වෙනත් ප්‍රබල අපරාධකරුවෙකු පසුපසය.
අදාළ අපරාධකරු රහසිගතව පැමිණෙන ස්ථානයක් නිරීක්ෂණය කරමින් සිටි ඩුබායි පොලිසිය, ඔහුව වටලා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ රැඳී සිටි අනෙක් පුද්ගලයන් ද සිය භාරයට ගැනීමට කටයුතු කළේය. එහිදී සිදු කළ අනන්‍යතා පරීක්ෂාවලදී හෙළි වී ඇත්තේ අහඹු ලෙස පොලිස් දැලට කොටු වූ මෙම පුද්ගලයා ශ්‍රී ලංකා පොලිසිය විසින් දීර්ඝ කාලයක සිට සොයමින් සිටි, ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත් කර තිබූ ‘ඇල්ටෝ ධර්මේ’ බවය.
එම අවස්ථාවේදීම ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම අහඹු කොටුවීමත් සමඟ ඇල්ටෝ ධර්මේගේ සමස්ත අපරාධ ඉතිහාසය සහ ජාත්‍යන්තර වරෙන්තු පිළිබඳ තොරතුරු යළිත් වරක් ඩුබායි පොලිස් වාර්තා අතරට එක් වී තිබේ.
-
සමස්ත මෙහෙයුමේ බරපතළකම
ඊයේ (2026 මැයි 26) දින නිල වශයෙන් වාර්තා වන පරිදි, ශිරාන් බාසික් සහ ඇල්ටෝ ධර්මේ යන අපරාධකරුවන් දෙදෙනාට අමතරව තවත් ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල ක්‍රියාකාරිකයන් 10 ත් 15 ත් අතර පිරිසක් ඩුබායි සහ අබුඩාබි යන ප්‍රදේශවලදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙය ශ්‍රී ලංකාවේ සමස්ත මත්ද්‍රව්‍ය ජාලයට සහ පාතාල ක්‍රියාකාරකම්වලට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයකි. මෙම නවතම වැටලීම හරහා තහවුරු වන්නේ ඩුබායි රාජ්‍යය තවදුරටත් ලංකාවේ අපරාධකරුවන්ට සැඟව සිටිය හැකි ‘ආරක්ෂිත කලාපයක්’ නොවන බවය. ඇත්ත වශයෙන්ම මේ මොහොත වනවිට පාතාලය දෙදරුම් කා ඇත. මොහෙතක් බලන්න. උන්ගේ අපරාධ අඩුවෙමින් තිබේ. උන්ට ලංකාවේ මිනි මැරීමට පෙර තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ අභියෝගය ඇත.
මෙරට තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයන්හි මූල්‍ය ප්‍රවාහයන් (Money Laundering) සහ උන්ඩියල් ක්‍රමවේද රැසක් මෙම අත්අඩංගුවට ගැනීම් හරහා බිඳවැටෙනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.







