අසේල කුරුළුවංශ –
මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙකු වන සිරිල් විමලසුරේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 97 වැනි වියේ පසුවූ ඔහු, සිංහල හා ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම දශක හයකට අධික කාලයක් මාධ්‍යකරණයේ නිරත වූ විශිෂ්ඨයෙකි.
වෘත්තීය ජීවිතය පාඨශාලාචාර්යවරයෙකු ලෙස ආරම්භ කළ සිරිල් විමලසුරේන්ද්‍ර, පසුව ලේක්හවුස් ආයතනයේ අළෙවි ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස එක් විය. කෙටි කලකින්ම ලේක්හවුස් ආයතනයේම මාණ්ඩලික මාධ්‍යවේදියෙකු ලෙස පත් වූ ඔහු, සිය මාධ්‍ය අනන්‍යතාවය ගොඩනගා ගත්තේය.
පසුව උපාලි පුවත්පත් ආයතනය හා එක්ව මහනුවර මාණ්ඩලික මාධ්‍යවේදියෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ඔහු, 2024 වසර දක්වාම මාධ්‍යකරණයේ සක්‍රීයව නියැළුණේය. මහනුවර ප්රවෘත්ති සමාජය බිහි කිරීමේ පුරෝගාමියෙකු මෙන්ම එහි මුල්ම සභාපතිවරයා වූයේ ද ඔහුය.
අසනීප තත්ත්වය හේතුවෙන් මෑතකදී වාර්තාකරණයෙන් මදක් ඈත් වුවද, නිවසේ සිටම උපාලි පුවත්පත් ආයතනයේ සිංහල හා ඉංග්‍රීසි පුවත්පත් සඳහා ප්රවෘත්ති සැපයීමට ඔහු කටයුතු කළේය.
දෙදරු පියෙකු වන සිරිල් විමලසුරේන්ද්‍රගේ දේහය මහජන ගෞරවය සඳහා මහනුවර ජාතික රෝහල ආසන්නයේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබේ. අවසන් කටයුතු හෙට (22) පස්වරු 7.00 ට මහනුවර මහයියාව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.







