කොළඹ කොටුව, ගාලු මුවදොර One Galle Face සාප්පු සංකීර්ණයේ අවන්හලක සේවය කළ ඉන්දීය ජාතික කළමනාකරුවෙකු විසින් එහි සේවය කළ ඉන්දීය ජාතික සේවකයෙක්ව ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය පවසයි.
ඊයේ (05) රාත්රියේ පිහියකින් ඇන එම ඝාතනය සිදුකර තිබුණේ මෙම ඉන්දීය ජාතිකයින් නවාතැන් ගෙන සිටින කොම්පඤ්ඤවීදියේ මහල් නිවාසයක පිහිටි ඔවුන්ගේ නාවාතැන තුළ දීය.
පහරකෑමට ලක්වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ
සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ අජේ කුමාර් නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.
30 හැවිරිදි සැකකාර කළමණාකරු සහ මියගිය සේවකයා අතර පෙරේදා රාත්රියේ අවන්හල තුළ බහින්බස්වීමක් ඇතිවී තිබෙන අතර එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇති බව වාර්තා වේ.
සැකකාර කළමනාකරු ඝාතනයට යොදාගත් පිහියත් සමග පොලිස් භාරයට ගෙන ඇත.
පසුගිය මාසයේ විවෘත කරන ලද මෙම අලෙවිසැලේ අවම වශයෙන් ඉන්දියාවේ සහ ශ්රී ලංකාවේ සේවකයින් 20 දෙනෙකු සේවය කරන බව පොලිසිය පවසයි.







