පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම හෙට (18) දින සිදු කිරීමට අභියාචනාධිකරණය අද (17) නියෝග කළේය.
මෙම පෙත්සම අද පස්වරුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කෙරිණි.
අද පෙරවරුවේ මෙම නඩුව මුලින්ම කැඳවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ ය. එහිදී පෞද්ගලික හේතූන් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විවෘත අධිකරණයේ දැනුම් දුන්නේය.
ඒ අනුව, පසුව සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව යළි කැඳවූ අතර, එහිදී පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම හෙට දින සිදු කිරීමට නියම විය.
මේ ලිපියත් කියවන්න…
ගෝඨාභය අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රතිඥාවක් දෙන්න බෑ – නීතිපති අභියාචනාධිකරණයට කියයි!






