මහාචාර්ය වජිර දිසානායක අධිකරණ ක්‍රියාවලියකින් අනතුරුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු එම තනතුර වෙනුවෙන් පත් කළ මහාචාර්යවරයා දෝෂ දර්ශනයට ලක් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගිය 26 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ කොටසක් වැරදි බවත් එම වැරැද්ද නිවැරදි විය යුතු බවත් දන්වමින් එම සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාසගේ අත්සනින් නව නිවේදනයක් නිකුත් වී තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව පත්කිරීම් විවේචනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2025.09.26 දින නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් විය.
“නමුත් නව පත්කිරීම් පිළිබඳ සලකා බැලූ විට, ඔවුන්ගෙන් බහුතරයක් දූෂණ චෝදනා සහ ගැටලුකාරි පසුබිමක් ඇති පුද්ගලයන් බව පැහැදිලිවෙන බවත් නව සභාපතිවරයා “ඉමියුනොග්ලොබියුලින් වංචාව” සම්බන්ධයෙන් චූදිත වූ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ගේ කාලයේ ඔහුගේ ඇනුමැතියෙන් වෛද්‍ය සභාවට පත් කරන ලද පුද්ගලයෙකි. එමෙන්ම මේ පත්කිරීම්වලින් සමහරු පෙර සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික සම්බන්ධිකරණ භූමිකාවන් දැරූ අයයි.” ලෙස එම නිවේදනයේ දක්වා තිබේ.
එම නිවේදනයෙන් “ මේ වනවිට වෛද්‍ය සභාවේ සභාපති ධූරයට පත් කර ඇති මහාචාර්යවරයා දැනට ඉමියුනොග්ලොබියුලීන් වංචාවේ ප්‍රධානම චූදිතයෙක් ලෙස සැලකෙන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් එම පාලන සමයේදී ද ඔහුගේ අනුමැතියෙන් වෛද්‍ය සභාවට පත් කළ පුද්ගලයෙකි” යන කොට ඉවත් කරගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. නව සභාපතිවරයා මීට පෙර වෛද්‍ය සභාවට පත් කර ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල නොවන බවත් එම ප්‍රකාශයෙන් යමෙකුගේ හිත් රිදීමක් සිද්ධ වූයේ නම් බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවත් එම එම සංගමය ප්‍රකාශ කරයි.

මුල් නිවේදනය සහිත ප්‍රවෘත්තිය පහත දැක්වේ.







