ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් “ගම්පහ ඕස්මන්ඩ්” ලෙස හැඳින්වෙන ඔස්මන්ඩ් ගුණසේකර ( 69) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (13) අත්අඩංගුවට ගත්තේය.
ගම්පහ ශ්‍රී බෝධි පාරේ නිවසේ දී ඔහුව අත් අඩංගුවට ගනු ලබන්නේ බටුවත්තේ චාමරගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලින් ලද තොරතුරු මත බව වාර්තා වේ.
සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනය වන්නේ 2025 පෙබරවාරි මස 19 වන දින කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළදීය. නීතිඥයෙක් ලෙස වෙස් වලාගෙන පැමිණි වෙඩික්කරුවෙක් ඔහු විත්ති කූඩුව මතදීම වෙඩි තබා ඝාතනය කර පලා යන්නේය.
මෙම ඝාතනය එවකට විදෙස්ගතව සිටි අපරාධකරුවෙක් වු කෙහෙල්බද්දර පද්මේ විසින් මෙහෙයවා ඇති බවත්, එම ඝාතනයට අවශ්‍ය අවි ආයුධ සැපයීම ඇතුළු පහසුකම් මෙහෙයවා ඇත්තේ බටුවත්තේ චාමර බවත් විමර්ශන අංශ මූලිකව අනාවරණය කරගෙන තිබිණි. කෙහෙල්බද්දර පද්මේ මෙන්ම බටුවත්තේ චාමරත් දැන් ඉන්නේ ශ්‍රි ලංකා ආරක්ෂක අංශවල අත්අඩංගුවේය. දින දෙකකට පෙර අසර්බයිජානයේ සිට ලංකාවට රැගෙන ආ බටුවත්තේ චාමරගෙන් කරන ප්‍රශ්නකිරීම්වලදී විමර්ශන දිගුවක් ලෙස ගම්හප ඔස්මන්ඩ් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී විදේශයක නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනිඅවියක්, පතරොම් 10ක් සහ පතරොම් ගැබ් දෙකක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
ගණේමුල්ලේ සංජීව සහ ඔස්මන්ඩ් ගුණසේකර අතර පවතින දීර්ඝකාලීන වෛරය හේතුවෙන් සංජීව විසින් ඔස්මන්ඩ් ඝාතනය කිරීමට දැරූ ප්‍රධාන උත්සාහයන් කිහිපයක් පිළිබඳ තොරතුරු පහත පරිදි වේ:
ගණේමුල්ලේ සංජීව සහ ගම්පහ ඔස්මන්ඩ් අතර ආරවුල
සංජීව විසින් ඔස්මන්ඩ් ගුණසේකර ඝාතනය කිරීමට දැරූ මුල්ම සහ ප්රබලතම උත්සාහයක් වාර්තා වන්නේ 2017 වසරේ ඔක්තෝබර් මස 06 වැනිදාය. එදින ගම්පහ, මුදුන්ගොඩ ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔස්මන්ඩ් ගුණසේකර ගමන් කළ මෝටර් රථයට ටී-56 ගිනිඅවිවලින් වෙඩි ප්‍රහාර එල්ල කරන ලදී. මෙම ප්‍රහාරයෙන් ඔස්මන්ඩ්ගේ ආරක්ෂාවට සිටි පුද්ගලයෙකු මියගිය අතර ඔස්මන්ඩ් බරපතළ තුවාල ලබා දිවි ගලවා ගැනීමට සමත් විය. මෙම ප්‍රහාරය ගණේමුල්ලේ සංජීවගේ මෙහෙයවීමෙන් සිදුවූවක් බව පසුව කරන ලද විමර්ශනවලදී අනාවරණය විය.
ඉන් අනතුරුව 2021 සහ 2022 වසරවලදී ද අවස්ථා කිහිපයකදී ඔස්මන්ඩ් ඝාතනය කිරීම සඳහා සංජීව විසින් සැලසුම් සකස් කර තිබූ බව බුද්ධි අංශ තොරතුරු මගින් හෙළි විය. විශේෂයෙන්ම ගම්පහ ප්‍රදේශයේ අධිකරණයක් අසලදී සහ ඔස්මන්ඩ්ගේ නිවස අසලදී මෙම ප්රහාරයන් එල්ල කිරීමට සූදානම් කර තිබූ බව කියැවේ.
2023 වසරේදී ගණේමුල්ලේ සංජීව ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන විට කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ද තම පාතාල බලය තහවුරු කරගැනීම සඳහා ඔස්මන්ඩ් ඝාතනය කිරීමට අවස්ථා කිහිපයකදී සැලසුම් කළ බවට තොරතුරු අනාවරණය වී තිබිණි. ගම්පහ නගරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ඔස්මන්ඩ්ගේ පාර්ශවය විසින් කිසිවෙකුට ඉඩ නොදීමත් ඔහුගේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළත් මේ ගැටුමට හේතු වූ බව අවස්ථා කීපයක දී ඔස්මන්ඩ් ගුණසේකර මාධ්‍යයට පැවසුවේය.
කෙසේ වෙතත් පෙනෙන ආකාරයට මේ ඝාතනයට ඔස්මන්ඩ් සම්බන්ධ වන්නේ නම් ඒ ඉතාම සූක්ෂම ආකාරයට බව පෙනී යන්නේය. කෙහෙල්බද්දර පද්මේගේ පියා සහ ඔස්මන්ඩ් සමීප මිත්‍රයෝ වූහ. මේ මිත්‍රත්ත්වය මත ඇති වූ සැකයක් පදනම් කරගෙන ගණේමුල්ලේ සංජීව විසින් පද්මේ ගේ පියා ඝාතනය කළ බවටත් එම ඝාතන පලිය ගැනීමට කෙහෙල්බද්දර පද්මේ පාතාලයට ප්‍රවේශ වූ බවටත් වූ අනාවරණයක් පද්මේ විසින් කලකට පෙර මාධ්‍ය වෙත සිදුකර තිබිණි.
කෙසේ වෙත්ත පද්මේ සහ ඔස්මන්ඩ් අවසාන කාලයේ වෛරයෙන් පසුවි ඇති අතර ඊටත් හේතුවක් වී ඇත්තේ ඔස්මන්ඩ්ගේ මත්ද්‍රව්‍ය විරෝධී පිළිවෙත බවට වාර්තා විය. කෙසේ වෙතත් මේ ඝාතනයේ නිශ්චිත කාර්ය කරන්නේ පිටරට සිටි කෙහෙල්බද්දර පද්මේ නම්, ඒ වනවිට පද්මේ ගේ තරහා කරුවෙක් වී සිටි ඔස්මන්ඩ් එම මේ අපාධය සඳහා තුන්වන පාර්ශවයක් මගින් සම්බන්ධ වීම සංකීර්ණ ක්‍රියාවලියක් බව පෙනී ගොස් තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන අතර ඕස්මන්ඩ් ගුණසේකර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







