ප්‍රශ්නගත ගල් අඟුරු හේතුවෙන් මේ වසරේ මුල් මාස හතර තුළ දී පමණක් ජාතික පද්ධතියේ මෙහෙයුම් ක්‍රියාකරු සමාගම මගින් ලක්විජය ගල් අඟුරු බලාගාරය වෙත අමතර වශයෙන් රුපියල් මිලියන 4517ක පිරිවැයක් දැරීමට සිදුවී ඇතැයි ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශන කොමිසමේ දී ඊයේ (15) අනාවරණය විය.
ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බුද්ධික සංජීව සමරසිංහ කොමිසම හමුවේ සාක්ෂි ලෙස ඉදිරිපත් කළ කරුණු අනුව මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
ජාතික විදුලි බල පද්ධතියට අවශ්‍ය විදුලි ධාරිතාව සම්පූර්ණයෙන් සපුරාලීමට තත්ත්වයෙන් බාල ගල් අඟුරුවලට නොහැකි වන අවස්ථාවල දී, වෙනත් බලාගාරවලින් විදුලි අවශ්‍යතාව සපුරාලීමට සිදු වීම හේතුවෙන් මෙම අතිරේක දැවැන්ත පිරිවැය දැරීමට සිදුව ඇති බව එහිදී වැඩිදුරටත් හෙළි විය. ඒ අනුව අදාළ කාල සීමාව තුළ ප්‍රධාන වශයෙන් ම කෙළවපිටිය සොබාදනවි විදුලි බලාගාරය මගින් මෙලෙස හිඟ විදුලි ධාරිතාව සපයා ගැනීමට පියවර ගෙන ඇත.
රසායනාගාර වාර්තාවල ගැටලු
ඊයේ දින කොමිසමේ දී අනාවරණය වූ අනෙක් වැදගත් කරුණ වූයේ, පැටවුම් වරායෙන් නිකුත් කරනු ලැබූ ගල් අඟුරු පිළිබඳ රසායනාගාර වාර්තාව පදනම් කර ගනිමින් සැපයුම්කරුවන් වෙත මුදල් ගෙවීමේ දී යම් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබීමයි.
කොමිසම හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා කැඳවා තිබූ ලංකා විදුලි ජනන ඉංජිනේරු සංගමයේ මෙන්ම ලංකා විදුලි ජනන පුද්ගලික සමාගමේ සභාපති මහාචාර්ය සාලිය ජයසේකර ප්‍රකාශ කළේ, පැටවුම් වරායේ රසායනාගාර වාර්තාව මත පදනම්ව සැපයුම් සමාගමට අදාළ ගාස්තුවෙන් සියයට 80කුත්, ලංකාවට ගොඩබෑමේ දී ලබා ගන්නා රසායනාගාර වාර්තාව මත පදනම්ව ඉතිරි සියයට 20ක මුදලත් ගෙවන බවයි.
නමුත් මේ වනවිට පැටවුම් වරාය මගින් නිකුත් කර ඇති බොහොමයක් ගල් අඟුරු තොග පිළිබඳ රසායනාගාර තත්ත්ව වාර්තා, මෙරටට ගොඩබාන ලද ගල් අඟුරු තොගවල වාර්තා සමග සසඳා බැලීමේ දී එකිනෙකට විශාල පරස්පරතා පවතින බව නිරීක්ෂණය වී ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.
ලක්විජය රසායනාගාර වාර්තාව වඩාත් නිවැරදියි
ප්‍රශ්නගත ගල් අඟුරු තොගවල සාම්පල පැටවීමේ දී සහ ගොඩබෑමේ දී ලක්විජය බලාගාරය තුළ ස්ථාපිත කර ඇති පරීක්ෂණාගාර මගින් පරීක්ෂාවට ලක් කරන බව මහාචාර්ය සාලිය ජයසේකර කොමිසම හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය. මීට අමතරව, ගල් අඟුරුවල මෙම ප්‍රශ්නගත තත්ත්වය උද්ගත වීමෙන් පසුව ‘බියුරෝ වෙරිටාස්’ (Bureau Veritas) පරීක්ෂණ ආයතනය මගින් ද ගල් අඟුරු පිළිබඳ තත්ත්ව වාර්තා ලබා ගැනීමට කටයුතු කළ බව හෙළි විය.
මහාචාර්ය සාලිය ජයසේකර පෙන්වා දුන්නේ මෙම රසායනාගාර වාර්තා සියල්ල දෙස බැලීමේ දී, ගල් අඟුරුවල සැබෑ තත්ත්වය ඉතා ආසන්න වශයෙන් සමාන වන්නේ මෙරට ලක්විජය බලාගාරය තුළ ස්ථාපිත රසායනාගාරයේ වාර්තාවට පමණක් බවයි.
එයට අමතරව මෙරටට ආනයනය කරනු ලබන ගල් අඟුරු කැබලිවල ප්‍රමාණය කුඩා වීම සහ ඒවායේ අළු ප්‍රමාණය වැඩි වීම මත ද විශාල පිරිවැය හානියක් සිදු වන බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම සාක්ෂි විමසීමට අමතරව, ඊයේ දින කොමිසම හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ බලපත්‍ර අංශයේ අධ්‍යක්ෂ සමීර අධිකාරම් ද කැඳවා තිබිණි.







