ඩොලර් ආදායම ඉහළ නංවමින් ශක්තිමත් අපනයන ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්රයේ ගැටලුවලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙරට ඇඟලුම් ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් එක්ව සිටි මෙම සාකච්ඡාවේදී ඇඟලුම් ක්ෂේත්රය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව අපනයන සැලැස්ම සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙරට අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය උපරිම සහාය ලබා දෙන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් වූ ඉදිරි ප්‍රතිපත්තිමය සැලසුම් පිළිබඳවද කරුණු පැහැදිලි කළේය.
කර්මාන්ත ශාලා ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමෙන් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා එක්වන ලෙස ආයෝජකයන්ට ආරාධනා කළේය. ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ කර්මාන්ත ශාලා ගොඩනැගිලි රජයේ අනුග්‍රහය ඇතිව ලබා දීමේ “Plug and Play” ක්‍රමවේදයක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
රුපියල්වලින් සිදුකරන ආයෝජන ඉහළ ගියද, ඒවා නිසා ඩොලරයට ඇති වන බලපෑම පාලනය කිරීම සඳහා ඩොලර් උපයන මාර්ග ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව වත්මන් ආර්ථික තත්ත්වය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේය. රුපියල් වියදම් සීමා කරමින් ඩොලර් ආදායම වැඩි කර ගැනීම මගින් ආර්ථික පිබිදීමක් ඇති කළ හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ආයෝජකයන් මුහුණ දෙන ඉඩම් ගැටලු පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ඉඩම්වල වටිනාකම සහ ප්‍රතිපත්තිමය ස්ථාවරභාවය සහතික කිරීමට රජය මැදිහත් වන බවත්, ඊට අදාළ නීතිමය ප්‍රතිසංස්කරණ මේ වන විට සිදු වෙමින් පවතින බවත් ප්‍රකාශ කෙරිණි. වැට් (VAT) බදු ක්‍රමය හේතුවෙන් දේශීය අමුද්‍රව්‍ය සපයන්නන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු වූ අතර, එහිදී ලබා දිය හැකි වෙනත් සහන පිළිබඳ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ව්‍යාපාරිකයන්ට දැනුම් දෙන ලදී.
වෙළෙඳපොළ අවස්ථා ඉහළ නන්වා ගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කර ගැනීම සහ කෝටා ප්‍රමාණයන් ඉහළ නන්වා ගැනීම වෙනුවෙන් ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.
වෙළඳාම සහ ආයෝජන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා “වෙළඳාම සඳහා වූ ජාතික තනි කවුළුව” මෙම ජූලි මාසය අවසන් වන විට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, ආයෝජන සඳහා වූ ජාතික තනි කවුළුව මෙම වසර අවසානය වන විට සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබෙන බවත් මෙහිදී අනාවරණය කෙරිණි. අයථා ලෙස උපයන ධනය මෙරටින් පිටතට ගලා යාම වැළැක්වීම සඳහා නීතිමය සහ තාක්ෂණික ක්‍රමවේද ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට, මහජන අයිතීන් සුරක්ෂිත වන පරිදි සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා වූ නව පනතක් හඳුන්වා දෙන බවද පැවසීය.
තම ගැටලු සෘජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදීම පිළිබඳ ආයෝජකයන් රජයට ස්තූතිය පළ කළ අතර, මතුවන ගැටලු පිළිබඳ මාසිකව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමට එකඟතාව පළ කරමින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම, ආනයන අපනයන පාලක ජෙනරාල් උපුල්මලී ප්‍රේමතිලක, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ ඇතුළු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරමින් උසස් නිලධාරීන් පිරිසක් සහ ඇගළුම් ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් එක්ව සිටියහ.







