මැයි 15 වැනිදා වාහන 4,000ක් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි (LC) විවෘත කර ඇති බවට විපක්ෂය එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ මිත්‍යාවක් බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසයි.
එදින විවෘත කර ඇත්තේ වාහන 1,782ක් සඳහා පමණක් වන අතර ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් යතුරුපැදි බව හෙතෙම අවධාරණය කළේය. විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයන්ට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා:
“රජය විසින් වාහන ආනයනය කල් දැමීමට පියවරෙන් පියවර තොරතුරු අධ්‍යයනය කරමින් සුදුසු තීන්දුවක් ගත්තා. නමුත් විපක්ෂය චෝදනා කළේ මැයි 15 වැනිදා වාහන 4,000ක් ගෙන්වූ බවත්, ඉන් 3,500ක් එක සමාගමකුත්, තවත් 500ක් වෙනත් සමාගමකුත් ගෙන්වා ඇති බවයි. තොරතුරු කලින් පිටතට ලබා දී මහා වංචාවක් කළ බවට සමාජය තුළ බියක් සහ වැරදි චිත්‍රයක් මවන්න ඔවුන් උත්සාහ කළා.”
“නමුත් සැබෑ තත්ත්වය නම් මැයි 15 දා ලංකාවට ආවේ වාහන 1,782ක් පමණයි. ඒ අතරිනුත් වැඩිම ප්‍රමාණයක් තනි ඒකක වශයෙන් වාහන එකක් හෝ දෙකක් ගෙන්වූ සාමාන්‍ය වැසියන්. වාහන 147ක් හෝ 150ක් වැනි ඉහළම ප්‍රමාණයක් ගෙන්වා ඇති සමාගම් පවා ආනයනය කර ඇත්තේ මෝටර් සයිකල්.”
“මැයි 15 වැනිදා මෙම ආනයනයන් සඳහා බැංකු 16ක් හරහා විවෘත කර ඇති සමස්ත ණයවර ලිපිවල වටිනාකම ඩොලර් මිලියන 23.71ක් පමණයි. මැයි 18 වැනිදා බදු සංශෝධනය සිදු වන විට වාහන 9,429ක් ගෙන්වා තිබුණත්, කිසිදු ආකාරයකින් තොරතුරු කලින් පිටවීමේ ප්‍රශ්නයක් මෙතැන නැහැ. මැයි 18 වන විට ඩොලර් මිලියන 17.9ක් සහ මැයි 19 වන විට ඩොලර් මිලියන 14.71ක් ලෙස වෙළෙඳපොළ ස්වයංක්‍රීයවම පාලනය වෙමින් පවතිනවා.”
විපක්ෂය විසින් දේශපාලන වාසි තකා මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත කරමින් ජනතාව අනියත බියකට පත් නොකළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.







