වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය මත, භාණ්ඩාගාරයට ‘සුවසැරිය’ ගිලන්රථ සේවය සඳහා සම්පූර්ණයෙන්ම මුදල් ආධාර ලබා දීමට නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බැවින් මෙම සේවය 2023 වසර තුළ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සුවසැරිය කළමනකාරීත්වය ධානපතියන්ගේ ආධාර ඉල්ලා පුවත් පත් දැන්වීමක් පළ කර තිබේ.
විශේෂයෙන් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපාරික ආයතන සහ ධනවත් පුද්ගලයින් ඉලක්ක කරගෙන මෙම ඉල්ලීම පල කර ඇති අතර එක් ගිලන් රථයක් රැක බලා ගන්නකු ලෙස රුපියල් ලක්ෂ 50ක් ලබා දී ඒ සඳහා දායකත්වය ලබා දෙන්නැයි එයින් ඉල්ලීමක් කර ඇත.
එම පුවත්පත් දැන්වීම පළ කරමින් කළමණාකාරීත්වය පවසන්නේ ‘1990’ අංකය හරහා ඇමතුමක් ලබා දී මිනිත්තු 11.5ක් ඇතුළත දිවයිනේ ඕනෑම ස්ථානයට එහි සේවාව ලබා ගත හැකි අතර එය ලෝකයේ අංක එකේ රටවලටත් වඩා වේගවත් හා හොඳ සේවයක් සපයන බවයි.
ගිලන් රථ 297ක් ‘සුවසැරිය’ සමඟ කටයුතු කරන අතර දිනකට හදිසි අවස්ථා 1050කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඔවුන් සම්බන්ධ වෙයි.







