දෙගල්දොරුව රජමහ විහාර පරිශ්‍රයේ සැරිසරමින් සිටි පිඹුරු පැටව් 14 දෙනෙකු නිරුප්‍රදිතව අල්ලා වනාන්තරයට මුදා හැරීමට විහාරවාසී පූජ්‍ය වටගමුවේ ආනන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය පියවර ගෙන තිබේ.
පිඹුරු පැටව් 06 දෙනෙකු පෙරේදා (21) ප්‍රථමයෙන් හමුවූ බවත් ඔවුන් මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ වනජීවී සංගමයේ සාමාජික සිසුන්ගේ සහයෙන් මහනුවර නගරයට නුදුරු දුනුමඩලාව වන රක්ෂිතයට මුදාහැරි බවත් ආනන්ද හිමියෝ කීහ.
පසුව යළිත් ඊයේ (22) විහාර පරිශ්‍රයේ සිටිය දී තවත් පිඹුරු පැටව් 08 දෙනෙකු හමුවී ඇත.
මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ සහකාර විදුහල්පතිවරයෙකුවන ආනන්ද හිමියෝ එවරද විදුහල් වනජීවී සංගමයේ සාමාජික සිසුන් කැඳවා ඔවුනට මෙම සතුන් භාරදී තිබේ.
අඩි 1 1/2 ක පමණ දිගින් යුත් හොඳින් වැඩුණු එම පිඹුරු පැටවු 08 දෙනාද ආරක්ෂිතව දුනු මඩලාව රක්ෂිතයට මුදා හැරීමට පියවර ගන්නා බව වනජීවි සංගමයේ සිසුහූ පැවසූහ.
පිඹුරෙකු එක් වරකට බිත්තර මගින් පැටවුන් 20-30 අතර සංඛ්‍යාවක් බිහිකරන බැවින් දෙගල්දොරුව විහාරස්ථානය ආශ්‍රිතව මෙන්ම ඒ අවට ගම්මානවල තවත් පිඹුරු පැටවුන් සිටිය හැකි බැවින් එම සතුන්ට හිංසා නොකර අල්ලා දෙගල්දොරුව විහාරස්ථානය වෙත බාර දීමට පියවර ගන්නා ලෙස ආනන්ද හිමියෝ ඉල්ලීමක් කරති.







