හැටන් රංජිත් රාජපක්ෂ –
නෝවුඩ් නිව්ටවුන් වත්ත වතුයායේ වගා කර තිබූ ඉයුකැලිප්ටස් ගස් කීපයක් මිලදී ගත් පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙක් ගස් කපා ඉවත් කිරිමේදී ගස් අතර රැඳී තිබෙන්නට අත්හල දැවැන්ත අත්තක් ඇද වැටීමෙන් මිය ගිය 14 හැවිරිදි පාසල් සිසුවෙක් පළාතම හඬවමින් අද (06) අවසන් ගමන් ගියේය.
නොවුඩ් නිව්ටවුන් වතුයායේ මැද කොටසේ පදිංචිවසිටි නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ 09 වසරේ අධ්‍යාපනය ලැබූ මුරුගන් අසාන්ත් නැමති මියගිය පාසල් සිසුවාගේ අවසන් කටයුතු නිවුටවුන් වත්ත පොදු සුසාන භූමියේ දි අද පස්වරුවේ සිදුවිය.

මේ දරුවා අවාසනාවන්ත ලෙස මිය යන්නේ ඉකුත් 03 දා සෙනසුරාදා දහවල් 12.30ට පමණය. ඒ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග සිය නිවසේ සිට අතුරු මාර්ගයක් ඔස්සේ නොර්වුඩ් නගරයට ගමන් කරමින් සිටිය දී ය. යන මාර්ගයේ ඉහළට නැගුන ඉයුකැලිප්ටස් ගස් අතර රැඳී එල්ලී තිබුණු ඉවත් නොකළ දැවැන්ත අත්තක් එක්වරම පාසල් සිසුවාගේ හිස මතට කඩා වැටී තිබේ.
සිද්ධිය වූ වහාම දරුවාගේ මිතුරන් සහ වතු කම්කරුවන් එක්ව දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර තිබිණි. සිසුවාගේ තත්ත්වය බරපතල වීම නිසා දික්ඔය මූලික රෝහලෙන් ඔහුව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි සිසුවා ජිවිතක්ෂයට පත් වී තිබේ. සිසුවාගේ සිරුර ඊයේ (05) පස්වරුවේ ඥාතින් වෙත භාර දි තබිණි. .
පොලිසිය පැවසුවේ ගස් ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව ගත් කොන්ත්‍රාත්කරුගේ අතිශය අපරීක්ෂාකාරී වගකීම් රහිත ක්‍රියාව හේතුවෙන් මේ මරණය සිදුවී ඇති බවය.
ගස් කැපිමට කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබු කොන්ත්‍රාත්කරු සහ සහයකයන් සිව්දෙනෙක් නොර්වුඩ් පොලිසිය විසින් ඊයේ (05) දින සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් වෙත ඉදිරිපත් කළේය.
සැකකරුවන් පස්දෙනා (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.







