භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ තුළ සැඟවී නීති රුමේනියාවේ සිට නීති විරෝධීව හංගේරියානු දේශ සීමාව පසුකිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු 27 දෙනෙක් රුමේනියාවේ ආරාඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළේය.
මෙම නීති විරෝධී සංක්‍රමණිකයින් කණ්ඩායම ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එරිත්‍රියාව, සහ පකිස්තානය යන රටවල වැසියන්ය.
මෙම පිරිස රෙදි පිළි සහ යකඩ කූරු පැටවූ ට්‍රක් රථ දෙකක් තුළ සැඟවී නීති විරෝධීව හංගේරියානු දේශසීමාව තරණය කිරීමට උත්සාහ කර තිබිණි.
රුමේනියාවේ ජාතික පුවත් ඒජන්සියවන Agerpres ට අනුව, Nadlac I දේශ සීමා හුවමාරුවන ස්ථානයේ දී රුමේනියානුවෙක් විසින් පදවාගෙන පැමිණ රටින් පිටවීමට සූදානම් වූ ට්‍රක් රථයක් පරීක්ෂා කිරිමේ දී භාණ්ඩ අතර සඟවා සංක්‍රමණිකයින් ප්‍රවාහනය කරන ආකාරය අනාවරණය කරගෙන ඇත.
අනතුරුව ට්‍රක් රථය වැඩිදුර පරීක්ෂා කළ Arad හි දේශසීමා පොලිසිය අනාවරණය කළේ, භාණ්ඩ ප්‍රවාහන කුටියේ ඉදිරිපස කොටසේ සකස් කළ විශේෂ මැදිරියක සඟවා සිටි විදේශීය ජාතිකයන් 17 දෙනෙකු එම ට්‍රක් රථයෙන් සොයා ගත් බවය.
පසුව අදාළ පුද්ගලයින් වැඩිදුර විමර්ශන සඳහා Arad පොලිස් මූලස්ථානය වෙත රැගෙන ගොස් තිබේ. ඔවුන් වයස අවුරුදු 21 සිට 67 දක්වා වූ බංග්ලාදේශයේ සහ එරිත්‍රියාවේ පුරවැසියන් බව දේශසීමා පොලිසිය විසින් සොයා ගනු ලබන්නේ එහිදීය.
මේ සමගම දේශ සීමා තරණය සඳහා රුමේනියානු ජාතිකයෙකු විසින් පදවාගෙන පැමිණි ලෝහ කූරු පැටවූ ට්‍රක් රථයක් ද පරීක්ෂා කර ඇත. එම පරීක්ෂාවේ දී ට්‍රක් රථයේ සිටි වයස අවුරුදු 21 ත් 42 ත් අතර වූ ශ්‍රී ලාංකිකයන් සහ පකිස්ථානුවන් 11 දෙනෙකුට වැඩි පිරිසක් සොයාගෙන තිබේ.
මෙම නීතිවිරෝධී ක්‍රියාව පිළිබඳ වැඩිදුර තොරතුරු සෙවීමට පරීක්ෂණ පවත්වන බව රුමේනියානු දේශසීමා පොලිසිය අවධාරණය කර තිබේ.







