හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකරන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරයි.
මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පැවැත් වූ මහජන උපදේශනයේ දී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් ද සැලකිල්ලට ගැනීමෙන් පසු කොමිසම සිය තීරණය ප්‍රකාශයට පත් කරන බවව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පැවසීය.
ඒ අනුව ගෘහස්ත, ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු හෙට සිට අඩු කෙරේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය යෝජනාව මඟින් සමස්ත විදුලි ගාස්තු අඩුවීම සියයට 10කට සීමා කර තිබුණ ද කොමිෂන් සභාව විසින් සමස්ත ගාස්තු අඩුකිරීම 22.5%ක් දක්වා ඉහළ දමා තිබේ.
අඩු වෙන හැටි
ආගමික ස්ථානවල අඩු විදුලි පරිභෝජනයක් සහිත කාණ්ඩ සඳහා මෙතෙක් අය කළ රුපියල් 8 සහ 9 බැගින් වූ ඒකක මිල රුපියල් 6 දක්වා ද රුපියල් 18ක් වූ ඒකක මිල රුපියල් 10 දක්වා ද රුපියල් 32ක් වූ ඒකක මිල රුපියල් 20 දක්වා ද රුපියල් 43ක් වූ ඒකක මිල රුපියල් 30 දක්වා ද හෙට දින සිට අඩු කර තිබේ.
ආගමික ස්ථානවලින් අය කළ මාසික ස්ථාවර ගාස්තු ද සියලු කාණ්ඩ සඳහා අඩුකර තිබේ.
කර්මාන්ත ශාලා සහ හෝටල් කාණ්ඩයේ 42ට අඩු කොන්ත්‍රාත් ඉල්ලුමක් ඇති උප කාණ්ඩය සඳහා මෙතෙක් පැවැත් වූ රුපියල් 37 රුපියල් 30.50ක් දක්වා සහ රුපියල් 25.50ක් වූ ඒකක මිල රුපියල් 18ක් දක්වා අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.
එම පාරිභෝගික කාණ්ඩ දෙක සඳහා අදාළවන මාසික ගාස්තු සංශෝධනය කර නැත.
නව ගාස්තු සංශෝධනයේ දී රාජ්‍ය ආයතන හා පොදු කාර්ය අංශ සඳහා මෙතෙක් පැවති රුපියල් 55, ඒ්කක මිල රුපියල් 46.75ක්, රුපියල් 45 ඒ්කක මිල රුපියල් 38.25ක් සහ රුපියල් 37 ඒකක මිල රුපියල් 31.45ක් දක්වා අඩුකර තිබේ.
නව ගාස්තු සංශෝධනය සමග ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට කොන්දේසි 7ක් පනවා ඇත.
විදුලි පාරිභෝගිකයින් ඉල්ලා සිටින විට දී විදුලි බිල්පත් නිකුත් කළ යුතු බව ද එම කොන්දේසි අතර වේ.
එමෙන්ම විදුලි ජනනය සඳහා ඉන්ධන මිලදී ගැනීමේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම්වලට එළැඹීමට පියවර ගන්නා ලෙස ද කොන්දේසි පනවා ඇත.







