ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශගත කිරීමට ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර සිදුවූ සේවක වැඩසටහනට අදාලව හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත දැනුම් දුන්නේය.
අදාල සිද්ධිය සම්බන්ධව තමන්ව ඇත් අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින දෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම අද (20) යළි කැඳවූ අවස්ථාවේදී ය.
නඩුව කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර විදේශ සේවා නි කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.
හිටපු අමාත්‍යවරයා පසුගිය දෙසැම්බර් 23 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී ඇති බවත් සිද්ධිය සම්බන්ධව තවත් පුද්ගලයින් 35 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.
සිද්ධිය සම්බන්ධව කරන විමර්ශන ඉතාම සංකීර්ණ බවත්, එම නිසා හිටපු අමාත්‍යවරයාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බවත් විමර්ශන නිලධාරීහු පැවසූහ.
එබැවින් පෙත්සම්කාර මනුෂ නානායක්කාර සහ දේශපාලන බලධාරීන් සම්බන්ධව තවදුරටත් විමර්ශන සිදුකළ යුතු බව අධිකරණයට දැන්වූ විමර්ශන නිලධාරීන් පවසා සිටියේ මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී මනුෂ නානායක්කාර සැකකරුවෙක් ලෙස නම් කිරීමට හෝ අත් අඩංගුවට ගැනීමට සාක්ෂි මතුව නොමැති බවය.
ඉදිරි විමර්ශන පැවැත්වීම සඳහා අවශ්‍ය තොරතුරු කීපයක් ලබා ගැනීමට ප්‍රකාශයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය පමණක් මතුව ඇති බැවින් එම ප්‍රකාශය ලබාදීමට මනුෂ නානායක්කාරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට දැනුම් දී ඇති බවත් ඔවුහු පැවසූහ.
එහිදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසා සිටියේ සිය සේවාදායකයා හිටපු කම්කරු සහ විදේශ ඇමතිවරයා ලෙස ඔහු වෙත පැවරී තිබූ වගකීම ඉටු කිරීම පමණක් සිදුකර ඇති බවය.
නමුත් විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් විදේශගත කිරීමේ මුවාවෙන් මිනිස් ජාවාරමක් සිදුකිරීම වැනි චෝදනා නගමින් සිය සේවාදායකයා අත් අඩංගුවට ගැනීමට උත්සාහයක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් මෙම අපේක්ෂිත ඇප ඉල්ලුම්පත්‍රය ගොනු කර ඇති බව නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.
තම සේවාදායකයා හෙට දිනයේ වුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව වෙනත් දිනයක මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සදහා කැඳවන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි 22 දා කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරිය දින නියමකළාය.







