මනම්පිටිය නිමල් ජයරත්න –
අම්පාර මහඔය සිට මින්නේරිය බලා ධාවනය කරමින් තිබූ මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලට අයත් ඩිෆෙන්ඩර් ජිප් රථයක් මනම්පිටිය කුඩාවැව ප්‍රදේශයේ පාරෙන් ඉවතට පැන සියඹලා ගසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් සෙබළුන් පස්දෙනකු තුවාල ලබා පොළොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
ඊයේ (20) රාත්‍රි 10.30ට පමණ සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ සෙබළුන් දෙදෙනෙකු පොළොන්නරුව රෝහලටත්, ඉතිරි තිදෙනා මනම්පිටිය රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
මහඔය ප්‍රදේශයේ පුහුණු පාඨාමාලාවට ගොස් ආපසු මින්නේරිය බලා ගමන් කරමින් සිටියදි ඔවුන් මෙම අනතුරට මුහුණපා ඇති බව පරීක්ෂණ සිදුකර මනම්පිටිය පොලිසියේ සඳහන් කරයි.
මෙම අනතුරට හේතුව රියදුරට නින්ද යෑම බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුරෙන් ඩිෆෙන්ඩර් රථයේ ඉදිරියට දැඩි ලෙස හානි සිදුව තිබේ.
මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මෙම අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.







