දළඳාවහන්සේට හා බෞද්ධාගමට අපහාස කරමින් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කළ සේපාල අමරසිංහ නැමැත්තා දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තිය යටතේත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 56 වගන්තිය (ICCPR) යටතේත් දඬුවම් කළ හැකි යැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.
අද පාර්ලිමේන්තුව ඇමතූ ඔහු සඳහන් කළේ ආගමික ස්ථානයකට, ආගමික වස්තුවකට අපහාස වන අයුරින් කතා කරන්නේ නම්, ආගම අවතක්සේරු කරන්නේ නම් එය සාපරාධී වරදක් බවත් වසර 10ක් පමණ සිරදඬුවමක් ලබා දිය හැකි බවත් ය.
“සමස්ත බෞද්ධ ලෝකවාසීන්ගේම මුදුන්මල්කඩ විදියට සලකන්නේ දළදා මාලිගාව. එයට අපහාස උපහාස කරන්න අයිතියක් නෑ. සේපාල කියලා තැනැත්තෙක් ඉතාම නින්දිත විදියට දළඳාවහන්සේට අපහාස කිරීම නිසා ගරු සංඝරත්නයේත්, බෞද්ධාගමිකයන්ගේත් හිත් රිදිලා තියෙන්නේ. සේපාල නැමැත්තා මිථ්‍යා දෘෂ්ටිකයෙක් නිසා එයාට එහෙම කියාගන්න පුළුවන්. මන්දබුද්ධිකයෙක් කියලා හිතනවා නම් එහෙම කියාගන්නත් පුළුවන්. ඒත් රටේ තියෙන ආගමික සහජීනවය විනාශ කරන්න සමාජ මාධ්‍ය භාවිතා කිරීම අනුමත කරන්න බෑ. “ අධිකරණ ඇමතිවරයා කීවේය.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කිවේ සේපාල් අමරසිංහ අනාගමික තොරොම්බල් කාරයෙක් බවය.
“සේපාල අමරසිංහ කියන සුදු රැවුල්කාරයා රැඩිකල් අනාගාමික තොරොම්බල්කාරයෙක්. ඒ කට්ටියට ඕනේ බුදුදහම පිළිගන්න මිනිස්සුන්ගේ හිත් පෑරෙන විදියට පහර දෙන්න. අනාගමිකයෝ ඉන්න පුලුවන්. ඒත් එයාලට අයිතියක් නෑ හිත රිද්දන්න.. විශ්වාසයන්ට ගහන්න. දළඳා හාමුදුරුවන්ට ‘…….’ කියන්න.. එහෙම ප්රජාතන්ත්රවාදයක් ඕනේ නැ.. කරුණාකරලා මේ ප්‍රවණතාවයට වැටෙන්න දෙන්න එපා. ආණ්ඩුවද විපක්ෂය ද අදාළ නෑ. රාජ්‍යත්වයේ ප්‍රධාන වගකීම දළදාව රැක ගැනීම. තුප්පහි හිපාටුවන්ට ඉඩ දෙන්න එපා ආගම විනාශ කරන්න..”
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද අදහස් දැක්වීය.
“එක කාලයක් ජාතිවාදී ගැටුම් නිසා ලේ වැගිරීමක් සිදු වුණා. ආගමික ගැටුම් නිර්මාණය වුණා. රට ගොඩ නඟන්න පුළුවන් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එහෙම නැත්නම් බෞද්ධ, ඉස්ලාම්, කතෝලික වැනි ආගම් අදහන ජනතාව අතර ගැටුම් නිර්මාණය කර ගැනීමෙන් නෙමෙයි. විටින් විට මෙවන් මූළධාර්මික ගැටුම් නිර්මාණය කරන අය බිහිවෙනවා. මෙවැනි අන්තවාදී ප්‍රකාශයන්, ගැටුම් හරහා සිද්ධ වෙන්නේ රටේ තත්ත්වය පහත වැටෙන එක.. සමාජය එවැනි තත්ත්වයකට ඉඩ නොදී පාලනය ගෙන යන්න ඕනේ..”
සේපාල අමරසිංහගේ ප්‍රකාශය ගැන වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ පැවසුවේ සමාජ මාධ්‍ය හරහා මෙවන් ප්‍රකාශ කරමින් පුද්ගලයින් උත්සාහ කරන්නේ වෙනත් රටවලට සරණාගතයින් සේ ඇතුල්වීමට බවයි.
කෙලෙස හෝ රටින් පිටවීමට අවශ්‍ය නිසා රටටත්, ආගම්වලටත් අපහාස කරන බවත් එවැනි තැනැත්තන්ට රටින් පිටවීමට නොහැකි අන්දමට දඬුවම් ලබා දිය යුතු බවත් ඇය සඳහන් කළාය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර යෝජනා කළේ සේපාල අමරසිංහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් හෝ අත්අඩංගුවට ගත යුතු බවය.







