සුබසාධක ප්‍රතිලාභ ලබා දීමේ දී සුදුසුකම් සැපිරූ වතුකරයේ හෝ වෙනත් ඕනෑම පාර්ශ්වයක් මඟහැරී ඇත්නම් එය නිවැරදි කිරීමට ඉඩ සලසනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
සුබසාධන ප්‍රතිලාභ ඉල්ලුම් කිරීමට නොහැකි වූ වතුකරයේ ජනතාව වෙනුවෙන් පහසුකම් සැලසීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ මූලිකත්වයෙන් යුතුව හිටපු අමාත්‍ය පා.ම. මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය පා.ම. ජීවන් තොණ්ඩමන්, පා.ම. ආචාර්ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා හා පා.ම. වඩිවේල් සුරේෂ් යන මහත්වරුන් සමඟ මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සමෘද්ධි දීමනා ලබා දීමේ නීති රෙගුලාසි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සිදු කළ විවාදයෙන් පසුව, ඡන්ද විමසීමකින් තොරව අනුමත වූ එම සංශෝධන අනුව, විනිවිද භාවයකින් යුතු තෝරාගැනීම් ක්‍රමවේදයකින් සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමට කටයුතු සූදානම් කර ඇති ආකාරය රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තොරතුරු එක්රැස් කිරීමේ දී මඟහැරීම් සිදු ව ඇති වතුකර ප්‍රදේශ සම්බන්ධ තොරතුරු ලබාදීමට ද මෙහිදී තීරණය කෙරිණි. රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් සැලකිය යුතු කරුණු ඇතුළත් වාර්තාවක් ද මෙම සාකච්ඡාවට ඉදිරිපත් කර තිබිණි.
ජූලි මාසයෙන් පසුව ප්‍රතිලාභී නාමලේඛන යාවත්කාලීන කිරීමේ දී, ඉල්ලුම් කිරීමට නොහැකි වූ වතුකර ජනතාවට ද නැවත ඉල්ලුම් කිරීමට අවස්ථාව සලසනු ලබන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ සඳහා වන කාල සීමාව හා ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉදිරියේ දී දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ජනතාව දැනුවත් කෙරෙන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.







