ඉඳුනිල් කහටපිටිය –
ජාතියේ මහා සංස්කෘතික කේන්ද්‍රය ලෙස ලෝක පූජනීයත්වයට පාත්‍ර වූ දළදා මාළිගාව කේන්ද්‍ර කරගත් පුරාවිද්‍යා ප්‍රේරණ කලාපය යටතට ගැනෙන යාර 400 සීමාව තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව කිසිම ඉදිකිරීමක් හෝ ඉදිකර ඇති ගොඩනැගිල්ලක අලුත්වැඩියා කිරීමක් කළ නොහැකි වුව ද පුරාවිද්‍යා ප්‍රේරණ කලාපය තුළ ඇති හෝටලයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව මුලුමනින්ම අලුත්වැඩියා කර ඇති බවත්, එම අලුත්වැඩියා කටයුතු සිදුකර ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනුමත කළ සැලසුමට අනුව නොවන බවත් වාර්තා වේ.
විශේෂත්වය වන්නේ දළදා මන්දිරය කේන්ද්‍රකරගත් යාර 400 සීමාව තුළ පිහිටි මේ හෝටලය අලුත්වැඩියා කිරීම සිදුවන්නේ සිවුවන මහලේ විවෘත ඉඩ මත පිහිනුම් තටාකයක් නිර්මාණය කිරීම සඳහාය.
පුරාවිද්‍යා ප්‍රේරණ කලාපය නම් කර ඇත්තේ 1998 අංක 24 දරන සංශෝධිත පුරාවිද්‍යා පනතට අනුවය. එම කලාපය මගුල් මඩුව, උල්පැන්ගෙය, වැඩ සිටින මාලිගාවේ සිට හතර දිසාවට යාර 400ක් දක්වා වූ කලාපය ආවරණය වේ. මේ කාලාපය පූජනීය වශයෙන් අතිශයින්ම වැදගත්කොට සලකන අතර පුරාවිද්‍යා ආඥාපනතට අනුව අතිශය සංරක්ෂිත කලාපයකි. දළ අදහසක් ලබා ගැනීම සඳහා දැක්වුවහොත් මේ කලාපය දළදා වීදිය දෙසට විහිදී නිමා වෙන්නේ රැජන හෝටලයේ ප්‍රධාන පිවිසුම ආසන්නයෙනි.
මෙම කලාපය තුළ නවීකරණයවන අදාල සිවු මහල් හෝටලයේ ඉහළ විවෘත නාන තටාගයක් නිර්මාණය වන්නේ පත්තිරිප්පුව, හතර දිසාවට ආසාන්නයේ පෙනෙන සිවු මහා දේවාල, සහ වැල් බෝධිය සමීප භූ දර්ශන ලෙස දකින පරිසරයකය.
විදේශිකයන් ඉලක්ක කරගෙන ප්‍රධාන වශයෙන් මෙම ඉදිකිරීම සිදුවන බවත් අඩ නිරුවත් විදේශිකයින්ට සංස්කෘතික භූමි කේන්ද්‍රයක හැසිරීමට රාජ්‍ය ආයතනවල අනුග්‍රහය ලැබී ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳ විමසිය යුතු බවත් නිලධාරීහු පවසති.
ප්‍රබල ජනතා විරෝධයක් මතු විය හැකි මෙම ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දීම් පසුපස රාජ්‍ය නිලධාරීන් අල්ලසට යට වී ඇති බවට සැක පහළ වන බවත් මේ සම්බන්ධව ලංකාසරට අදහස් දැක්වූ නිලධාරියෙක් පැවසුවේය.







