ආර්ථික ස්ථාවර වී එහි ප්‍රතිඵල ජනතාවට දැනෙමින් පවතින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද මනුවරදී පැවසුවේය. ආර්ථිකය පරිපූර්ණ වශයෙන් ස්ථාවර වන බවත් ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයෙන් යුක්තව මෙම රජය පසුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර ඓතිහාසික ශ්‍රී නාථ දේවාල භූමි පරිශ්‍රයේදී ඊයේ (16) පැවැති හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, රටේ මේ දක්වා නොවිසදුණු ගැටලුවලට විසඳුම් ලබාදීමට රජයට හැකියාව ලැබුණු බවත් ලක්ෂ දහසයක් පමණවන රජයේ සේවකයින්ට සහ පුද්ගලික අංශයේ සේවකයන් සඳහා අය වැය මගින් වැටුප් ඉහළයාමක් සිදුකළ බවත් කීවේය. පාසල් දරු දැරියන් ද වෙනත් සහන ලබා ගත යුතු පාර්ශවයන් සඳහා ද සහන ලබාදී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. ප්‍ර
එමෙන්ම බිඳ වැටුණු සෞඛ්‍ය ක්ෂේත්රය යථාවත් කරමින් තිබෙන බව කී අමාත්‍යවරයා සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලු මතුවී ඇත්තේ 2022- 2023 වර්ෂවල ඖෂධ ඇණවුම් කිරීමේ දී මතුවූ අක්‍රමිකතා හේතුවෙන් යැයි ද පැවසුවේය. උපකරණ ගැටලු, ඖෂධ හිඟයන් ආදිය සඳහා ක්ෂණික විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව කී හෙතෙම ඉදිරි මාස කිහිපය තුළදී මහජනයා බලාපොරොත්තුවන පරිදි ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකිවනු ඇතැයි ද කීවේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සක්‍රීය වී යටපත් වී ඇති පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාර්යක්ෂමවීම හා පරීක්ෂණ වේගවත් වීම, නීතිපති දෙපාර්තමේන්තුව මගින් අධිචෝදනා ගොනු කිරීම ආදී නෛතිකමය අංශයේ ක්‍රියාත්මකවීම් මේ වනවිට ස්වාධීන අයුරින් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා රජය මගින් සිදු කරන්නේ එම ආයතන සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම පමණක් යැයි ද පැවසුවේය.
වංචා, දූෂණ, ඝාතන, දේශපාලන වැරදි ආදිය ජාලගත වී ඉතාමත්ම බරපතල අයුරින් පැවති බවත් ඒ සියල්ල ඝාතන වශයෙන් නොව දේශපාලන කුමන්ත්‍රණ වශයෙන් හැදින්විය හැකි යැයි ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තව දුරටත් සඳහන් කළේය.







