සූරියවැව නුවන් ජයසේකර –
පවුල් ආරවුලක් මත වසර 13කට පෙර කතරගම දේවාලේගමදී වයස අවුරුදු 04ක දරුවා බලා සිටියදීම මවට හා පියාට පොලුවලින් පහරදී පිහියකින් ඇණ ඝාතනය කිරීමේ සිද්ධියකට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 30000ක දඩ මුදලක් හා පිළිවෙළින් වසර 15 ක හා වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හම්බන්තොට මහාධිකරණය ඊයේ (05) සවස නියම කෙරුණි.
මෙලෙස සිර දඩුවම් නියම කෙරුණේ කතරගම පෙරගිරිගම පදිංචි 65 හැවිරිදි තිදරු පියෙකු වු දියුණුගලගේ තිලකරත්න හා ඔහුගේ වගාවක සේවකයෙකු ලෙස කටයුතු කල 39 හැවිරිදි වික්‍රමආරච්චිගේ සුමින්ද කුමාර නැමති අවිවාහක පුද්ගලයෙකුටය.
චුදිතයින් දෙදෙනා 2010 අගෝස්තු මස 23 වන දින කතරගම දේවාලේගමදී පවුල් ආරවුලක් දුරදිග ගොස් කතරගම පෙරගිරිගම පදිංචි පානමුල්ල ආරච්චිගේ කීර්ති කුමාර (සැමියා) හා දේවාලේගම බඩල්ගේ ශිරෝමි (බිරිද) දෙපළට සිය වයස අවුරුදු 04ක දරුවා බලා සිටියදිම පොලු වලින් පහරදී පිහියකින් ඇණ ඝාතනය කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කතරගම පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කල අතර එහිදී අනාවරණය වි තිබුනේ පවුල් ආරවුලක් දුරදිග ගොස් මෙම මිනීමැරුම සිදුව තිබූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට චුදිතයින් දෙදෙනා කතරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
එහිදී පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නිතිපතිවරයා විසින් 2018.02.06 වන දින හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා දෙකක් යටතේ චුදිතයින් දෙදෙනාට එරෙහිව නඩු පවරණ ලදි.
ඒ අනුව පැවති නඩු විභාගය අතරතුරදි චුදිතයින් දෙදෙනා විවෘත අධිකරණයේදී අදාල චෝදනාවන් සඳහා වරද පිළිගනු ලැබිය. ඒ අනුව හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා චුදිතයින්ට පහත අයුරින් දඩුවම් නියම කෙරුණි.
පළමු චුදිත වු කතරගම පෙරගිරිගම පදිංචි 65 හැවිරිදි තිදරු පියෙකු වු දියුණුගලගේ තිලකරත්න යන අයට අදාල චෝදනාව සදහා වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණු අතර රුපියල් 10,000ක දඩයක්ද නියම කෙරුණි.චුදිත චඩ නොගෙවයි නම් තවත් වසර 01ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.
දෙවන චුදිත වු කතරගම පෙරගිරිගම පදිංචි 39 හැවිරිදි වික්‍රමආරච්චිගේ සුමින්ද කුමාර නැමති අයට වසර 15 බැගින් වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණු අතර එය වෙන් වෙන්ව ගෙවී යායුතු බවටද මහාධිකරණ විනිසුරු වරයා බන්ධනාගාර අධිකාරී වරයාට නියම කෙරුණි
.ඉහත දඩුවම් වලට අමතරව දෙවන චුදිතට රුපියල් 10,000 බැගින් රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරුණු අතර චුදිත දඩ නොගෙවයි නම් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.
නිතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ අනුරාධ විජේසුරේන්ද්‍ර පැමිණිල්ල මෙහෙයවන ලදි.